මාරක අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට
December 24, 2025 10:31 am
ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
කොටවිල පොලිස් වසමේ බණ්ඩරමුල්ල ප්‍රදේශයේදී ඊයේ (23) මාතර සිට වැලිගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ කාර් රථයක් පසුකර යාමේදී එම කාර් රථයේ ගැටී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක හා කාර් රථයකද ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් යතුරුපැදිකරු හා පසු පැදිකරු බරපතළ තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකරු මියගොස් තිබේ.
මරණකරු වයස අවුරුදු 33ක් වූ අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර කොටවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර, පලෙයි පොලිස් වසමේ ඉත්තැවිල් ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් යතුරුපැදියක් අනුරාධපුර සිට යාපනය දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් අවුරුදු 52ක යාපනය ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත.
මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර පලෙයි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ඊයේ (23) දින සවස් කාලයේ මොරගහහේන පොලිස් වසමේ තල්ගහවිල හොරණ මාර්ගයේ කොහේන හන්දිය ප්‍රදේශයේදී තල්ගහවිල දෙස සිට සව්ගස් හන්දිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් කොහේන මාර්ගයට හැරවීමට යාමේදී එම දිශාවටම පසුපසින් ධාවනය වූ තවත් යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා සහ ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදියේ පසුපැදිකාරිය තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 59 හැවිරිදි එක් පැදිකරුවෙකු මියගොස් තිබේ.
