කඩිනමින් ස්ථීර විගණකාධිපතිවරයෙකු පත්කරන්නැයි ඉල්ලීමක්

කඩිනමින් ස්ථීර විගණකාධිපතිවරයෙකු පත්කරන්නැයි ඉල්ලීමක්

December 23, 2025   07:33 pm

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්ථීර විගණකාධිපතිවරයෙකු කඩිනමින් පත්කිරීම පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් සිදුකරයි.

නීතීඥ සංගමය විසින් විශේෂ ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, රාජ්‍ය මුල්‍ය පාලනයේ විනිවිදභාවය ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමට විගණකාධිපතිවරයාගේ පත්වීම අත්‍යවශ්‍ය බවය.

පසුගිය අප්‍රේල් මාසයේ හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසු මේ දක්වා ස්ථීර නිලධාරියෙකු පත්නොකිරීම සම්බන්ධයෙන් නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමුකර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(1) ව්‍යවස්ථාව යටත් පිහිටුවා ඇති විගණකාධිපති ධුරය සමස්ත රාජ්‍ය ආයතන වල වගකීම තහවුරු කරන ප්‍රධානතම කාර්යභාරය ඉටුකරන බවත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව දැනට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ආර්ථිකය ගොඩනගමින් සිටින අතර දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු විනාශය වෙනුවෙන් විශාල වශයෙන් විදේශ ආධාර ලැබෙමින් පවතින අතර මෙවෙනි අවස්ථාවක මුල්‍ය විනිවිදභාවය උපරිමයෙන් තිබිය යුතු බව නීතීඥ සංගමය සිය ලිපියෙන් අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයා මීට පෙර ඉදිරිපත් කරන ලද නාමය ව්‍යවස්ථාදායක සභාවේ බහුතර කැමැත්ත දිනාගැනීමට අපොහොසත් වී ඇති බැවින් දේශපාලන වශයෙන් පක්ෂපාතී නොවන ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයක් සහ ස්වාධීනත්වයක් ඇති ව්‍යවස්ථාදායක සභාවේ පොදු එකගතාවය දිනාගත හැකි පුද්ගලයෙකු පත් කළ යුතු බව එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.