ප්‍රධාන ජලාශ 36ක් තවදුරටත් වාන් දමයි

ප්‍රධාන ජලාශ 36ක් තවදුරටත් වාන් දමයි

December 21, 2025   06:55 am

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ප්‍රධාන වැව් 73න් ජලාශ 36ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ මීට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් 52කට ආසන්න ප්‍රමාණයක් ද වාන් දමමින් පවතින බවය.

මෙම වාන් දැමීම මගින් ගංවතුර තත්ත්වයක් හෝ එවැනි තත්ත්වයකට ජලය නිදහස් වීමක් සිදුනොවන බවත් මේ හේතුවෙන් මහජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවන බවත් ඒ මහතා අදහස් දක්වමින් පැවසීය.

කෙසේ නමුත් ඉදිරි මෝසම් වැසි තත්ත්වයන් අනුව ගංගාවල ජල මට්ටම් වෙනස් වීමේ හැකියාව පවතින බවත් මේ හේතුවෙන් එම තත්ත්වයන් සම්බන්ධව අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ නිල්වලා ගඟ ආශ්‍රිතව බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම ද්‍රෝණිය ආශ්‍රතිව මිලිමීටර් 50-100ත් අතර ප්‍රමාණයක් තැනින් තැන වාර්තා වී ඇති බවත් තෙත් කලාපයේ බොහෝ ස්ථාන ආශ්‍රිතව මිලිමීටර් 25කට ආසන්න ප්‍රමාණයක්ද වාර්තා වී ඇත.

මීට අමතර මධ්‍යම කඳුකරය සහ කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව ඇතැම් ස්ථානවලද මිලිමීටර් 50කට ආසන්න ප්‍රමාණයක වර්ෂාපතනයක්ද නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 25-50ත් අතර වර්ෂාපතනයක් ද වාර්තා වී තිබේ.

මෙම තත්ත්වය මත නිල්වලා ගඟේ ජල මට්ටම කුඩා වැඩීවීමක් පෙන්නුම් කළද ලැබුණ වර්ෂාව අනුව එය ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් දක්වා පැමිණ නැති බවත් ඉංජිනේරුවරයා සඳහන් කළේය.

එමෙන්ම මහවැලි ගඟ ආශ්‍රිතව මනම්පිටිය ජල මට්ටම ඉහළ මට්ටමක පවතින බවත් එයද ක්‍රමයෙන් මේ වන විට අඩුවෙමින් පවතින බවත් අනෙකුත් ජලාශ ආශ්‍රිතව වර්ෂාවන් ලැබුණද ගංවතුර ත්ත්ත්වයක් දක්වා ජල මට්ටම් ඉහළ යාමක් පෙන්නුම් නොකරන බවද ඉංජිනේරු සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.