කුඹුරුවල එක්රැස්වූ වැලි වාණිජ කටයුතු සඳහා ප්‍රවාහනයට බලපත්‍රයක් අනිවාර්යයි

කුඹුරුවල එක්රැස්වූ වැලි වාණිජ කටයුතු සඳහා ප්‍රවාහනයට බලපත්‍රයක් අනිවාර්යයි

December 16, 2025   11:30 am

පසුගියදා ඇදහැලුණු අධික වර්ෂාපතනයෙන් ඇතිවූ නාය යෑම් හා ගංවතුර තත්ත්වය හේතුවෙන් වගා බිම් හා කුඹුරු ඉඩම්වල එක් රැස්වූ වැලි වාණිජ කටයුතු සඳහා ප්‍රවාහනය කිරීමට බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

කෙසේ වෙතත් එම වැලි කැණීම් කටයුතු සඳහා බල පත්‍ර අවශ්‍ය නොවන බව එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් දීපානි වීරකෝන් මහත්මිය සඳහන් කළාය.

මෙහිදී වාණිජ කටයුතු සඳහා එම වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍ර ගාස්තු වශයෙන් රජය විසින් යම් මුදලක් අය කරන බවද අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

එම වැලි ප්‍රවාහනය මගින් ලැබෙන බලපත්‍ර ගාස්තුව රාජ්‍ය භාගය සේ සැලකෙන අතර එහි ආදායම මහා  භාණ්ඩාගාරය වෙත යොමු කෙරුණු ඇත.

මේ අතර, සාමාන්‍ය පරිදි වැලි කැණීමක් සිදුකිරීමේදී සහ ප්‍රවාහනයේදී ඒ සඳහා භු විද්‍ය හා පතල් කාර්යාංශය විසින් බලපත්‍රයක් නිකුත් කරනු ලැබුවත් මෙම අවස්ථාවේ දී කැණීම් බලපත්‍ර ගාස්තුවෙන් නිදහස් කර තිබේ.

මෙහිදී වැව් අමුණු හා ගංගා ද්‍රෝනියන්හි රැස්ව ඇති වැලි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටියට අනුව ලබාදීමට සූදානම් බව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ  අධ්‍යක්ෂ ජෙනරාල් දීපානී වීරකෝන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.