යුද ගැටුම් මැද කාම්බෝජය තායිලන්තය සමග ඇති දේශසීමා හරස්මාර්ග වසා දමයි

යුද ගැටුම් මැද කාම්බෝජය තායිලන්තය සමග ඇති දේශසීමා හරස්මාර්ග වසා දමයි

December 13, 2025   10:22 pm

කාම්බෝජය සහ තායිලන්තය අතර සටන් දිගටම පවතින පසුබිමක දෙරට අතර ඇති දේශසීමා හරස් මාර්ග වසා දැමීමට පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කාම්බෝජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව නැවත දැනුම්දෙනතුරු මෙම දේශසීමා හරස් මාර්ග වසා තැබීමට පියවර ගෙන ඇති බවය.

දෙපාර්ශ්වයම අඛණ්ඩව යුද ගැටුම් වර්ධනය කරගන්නා පසුබිමක අද (13) දිනයේ පමණක් තායිලන්ත සොල්දාදුවන් සිව් දෙනෙකු මිය ගිය බව තායිලන්ත හමුදා නිලධාරීන් පවසා තිබේ.

කෙසේ නමුත් මෙම යුද ගැටුම් හේතුවෙන් කාම්බෝජ හමුදාවන්ට සිදුවූ හානි සම්බන්ධව එරට තවමත් දත්ත යාවාත්කාලීන කිරීමක් සිදුකර නැතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම මරණ සංඛ්‍යාවත් සමග පසුගිය සඳුදා දින සිට මේ දක්වා තායිලන්තයේ හමුදා නිලධාරීන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද තවත් 270ක් මෙන්ම සිවිල් වැසියන් 6 දෙනෙකුද තුවාල ලබා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

එමෙන්ම පසුගිය සිකුරාදා දින වන විට කාම්බෝජයේ අවම වශයෙන් සිවිල් වැසියන් 11 දෙනෙකු මියගොස් තවත් 59 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

කෙසේ වෙතත් මෙම ගැටුම් මැද මේ වන විට දේශසීමා ආසන්නයේ සිටි ලක්ෂ 7කට ආසන්න ජනතාවක් ඉන් ඉවත් කිරීමටද දෙරටවල් පියවර ගෙන තිබේ.

මේ අතර අද දිනයේද තායිලන්තය විසින් කාම්බෝජයට ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයිද වාර්තා වේ.

කාම්බෝජ ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කර ඇත්තේ තායි හමුදාව F-16 ප්‍රහාරක ජෙට් යානා දෙකක් භාවිත කර ඉලක්ක ගණනාවකටම බෝම්බ හෙළු බවය.

එහෙයින් තායි හමුදාවේ ගුවන් යානා තවමත් බෝම්බ හෙලීම නතර කර නැතැයිද එම වාර්තාවේ සඳහන්ව ඇති අතර තායි හමුදාවද සටන් දිගටම පවතිනු ඇති බවද තහවුරු කර තිබේ.

මේ අතර වර්ධනය වී ඇති මෙම යුද ගැටුම් සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පැවසුවේ දෙරටේ නායකයින්ට තමන් කතා කළ බවත් ඔවුන් මෙම යුද ගැටුම් නැවැත්වීමට එකඟ වූ බවත්ය.

ඒ අනුව "රටවල් දෙකම සාමයට සූදානම්"  යැයි සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සඳහන් කර තිබුණි.

කෙසේ නමුත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම සාකච්ඡාවෙන් පසු දෙපාර්ශ්වය සටන් විරාමයක් ගැන අදහස් දැක්වීමක් සිදුකර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එහිදී තායිලන්ත ආක්‍රමණිකයා නොවන බවත් සටන් විරාමයක් ඇති කර ගැනීමට පෙර කාම්බෝජය තම හමුදා ඉවත් කළ යුතු බවත් දේශසීමාවෙන් බිම් බෝම්බ ඉවත් කර පෙන්විය යුතු බව තමන් අමෙරිකානු ජනාධිපතිවරයාට පැවසූ බව තායිලන්ත අග්‍රාමාත්‍ය අනුටින් චාන්විරකුල් පවසා තිබේ.