විදෙස් රටවලින් ලැබුණු ආධාර ක්‍රමවත්ව බෙදාදීමට පියවර
December 12, 2025 01:22 pm
විදෙස් රටවලින් ලබාදුන් ආධාර ගබඩාකර ඇති ඔරුගොඩවත්ත පිහිටි ආපදා සහන සේවා ගබඩා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ප්රමුඛ කමිටු සාමාජිකයන් අද (12) එක්විය.
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් විදෙස් රටවලින් ලබාදුන් ආධාර ඔරුගොඩවත්තේ පිහිටි ආපදා සහන සේවා ගබඩා පරිශ්‍රය හරහා ආපදාවට ලක්වූවන් වෙත ක්‍රමවත්ව ලබාදීම මේ දිනවල සිදුකෙරේ.
පීඩාවට පත්වූ ජනතාව වෙත ලබාදීම සඳහා විදෙස් රටවලින් ලැබෙන ආධාර තොග ඊයෙත් (11) මෙරටට ලැබී තිබුණි.
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ Rebuilding Sri Lanka අරමුදල සඳහා කොළඹ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් සිය පෞද්ගලික ධනයෙන් රුපියල් මිලියන 3.6ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබේ.
අදාළ චෙක්පත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත එම අමාත්‍යාංශයේදී භාරදී තිබුණි.
ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමට ප්‍රංශ රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් (REMI LAMBERT) මහතා පැවසීය.
කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සමඟ ඊයේ පැවති හමුවකදී දෙරට අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කරලීම සඳහා ක්ෂේත්‍ර රැසකින් සිය සහාය ලබාදීමට සූදානම් බව ප්‍රංශ තානාපතිවරයා සඳහන් කර තිබුණි.
පාකිස්තාන රජය මෙරටට ලබාදෙන මෙට්‍රික් ටොන් 13ක් බැරැති ආධාර තොගයක් කටුනායක ගුවන් තොටුපල වෙත ඊයේ රැගෙන එනු ලැබීය.
මදුරු දැල් 3000ක්, වායු මෙට්ට 2000ක්, ඇද ඇතිරිලි 1000ක් සහ තවත් මෙට්ට 100ක් ද එම ආධාර තොගයට අයත් ය.
ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ආධාර තොගය භාරගැනීමට පැමිණ තිබුණි.
