අල්ලස් ඉල්ලූ පොලිස් කොස්තාපල් හා සැරයන් අත්අඩංගුවට
December 12, 2025 07:30 am
රු.5,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලූ පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත ඊයේ (11) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්තනකඩවල ප්රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දියබෙදුම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ සේවය කරමින් සිටි නිලධාරීන් දෙදෙනෙක්ය.
අදාළ පැමිණිලිකරු විසින් ඔහුට අයත් යතුරුපැදියෙන් පසුගියදා (දෙසැ. 9) ගමන්කරමින් සිටියදී එම යතුරුපැදිය අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා නවතා පරීක්ෂා කර තිබේ.
එහිදී වලංගු රියැදුරු බලපත්රයක් හා ආදායම් බලපත්රයක් නොමැතිව මෙන්ම බීමත්ව ධාවනය කිරීමක් ඔවුන්ට අනාවරණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර පැමිණිලිකරුගේ යතුරුපැදියේ රක්ෂණ සහතිකය සහ කල්ඉකුත් වූ ආදායම් බලපත්රය සැකකාර පොලිස් නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.
එම බලපත්ර දෙක ආපසු ලබාදීම සඳහා රු. 5,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇත.
ඒ අනුව අදාළ නිලධාරීන් දෙදෙනා ඊයේ පෙ.ව.11.30ට පමණ දියබෙදුම සතිපොළ ඉදිරිපිට ප්රධාන මාර්ගයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් හිඟුරක්ගොඩ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
