ස්මිත්‍රි මන්දනාගේ සහ පලාෂ් මුචල්ගේ විවාහය අවලංගුයි

ස්මිත්‍රි මන්දනාගේ සහ පලාෂ් මුචල්ගේ විවාහය අවලංගුයි

December 8, 2025   11:59 am

ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා සහ ඉන්දියාවේ තරුණ සංගීත අධ්‍යක්ෂකවරයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ පලාෂ් මුචල් සමඟ තින්දු ව තිබූ  විවාහය අවලංගු කර තිබේ. 

ස්මිත්‍රි මන්දනා ඊයේ (07) සිය සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් මේ බව පවසා තිබුණි.

එහි ඇය පවසා ඇත්තේ පසුගිය සති කිහිපය දැඩි වියවුල් තත්ත්වයක් පැවති බවය. එමෙන්ම ඇය පවසා ඇත්තේ තමන් දැඩි ලෙස පෞද්ගලිකත්වය අගයන කෙනෙකු වූවත් විවාහය අවලංගු කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකිරීමට අවශ්‍ය බවය. 

"මම මේ කාරණය මෙතැනින් අවසන් කිරීමට කැමතියි, ඔබ සැමගෙනුත් එසේම කරන ලෙස ඉල්ලා සිටිමි. මේ වෙලාවේ පවුල් දෙකේම පෞද්ගලිකත්වයට ගරු කරන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. අපිට ඉදිරියට යන්න ඉඩ දෙන්න. අපි හැමෝටම සහ මට ඉදිරියට යන්න ලොකු අරමුණක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒක මගේ රට හැම විටම ඉහළම මට්ටමින් නියෝජනය කරනවා. හැකි තාක් කල් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරලා කුසලාන දිනා ගන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ අවධානය සදහටම තියෙන්නේ එතනයි. ඔබේ සියලු සහයෝගයට ස්තූතියි. ඉදිරියට යන්න කාලයයි," ඇය තවදුරටත් පැවසුවාය.

මීට පෙර, මන්දනාගේ විවාහ මංගල්‍යය නොවැම්බර් 23 වන දින පැවැත්වීමට නියමිතව තිබුණත්, ඇගේ පියා වන ශ්‍රීනිවාස්ගේ හදිසි රෝගාතුරු වීම හේතුවෙන් ඇයගේ විවාහය කල් දැමීමට සිදු වූ බව දැනුම් දී තිබුණි.

සිය විවාහය අවලංගු වීම සම්බන්ධයෙන් පලාෂ් ද සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම් දීමක් සිදුකරමින් පවසා ඇත්තේ තමන්ට සිය ජීවිතයේ ඉදිරියට යාමට අවශ්‍ය බවය. එමෙන්ම  සමාජ මාධ්‍යවල පැතිර යන කටකතා ද විවේචනය කර තිබේ. එමෙන්ම අසත්‍ය හා අපහාසාත්මක අන්තර්ගතයන් පතුරුවන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.