කෘෂිකර්මාන්තය හා වැවිලි අංශය සංවර්ධනයට ජාත්‍යන්තර සහාය ගන්න අවධානය

කෘෂිකර්මාන්තය හා වැවිලි අංශය සංවර්ධනයට ජාත්‍යන්තර සහාය ගන්න අවධානය

December 5, 2025   04:00 pm

කෘෂිකර්මාන්තය සහ වැවිලි අංශය සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති රජයේ ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා, සළකා බැලීම සඳහා පසුගිය 24 සහ 26 යන දිනවල පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.

විදේශයන්හි සිටින බොහෝ වෘත්තිකයන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ සහ පශු සම්පත් අංශයේ සංවර්ධනයට දායක වීමට කැමැත්තෙන් සිටින බවත්, එවැනි පුද්ගලයින්ගේ සහයෝගය ලබා ගනිමින් මෙම අංශය සංවර්ධනය කිරීම කෙරෙහි බලධාරීන් අවධානය යොමු කළ යුතු බවත් මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා සඳහන් කළේය. 

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනයේදී පැන නගින ඉඩම් ගැටලු විසඳීම සඳහා මැදිහත් වීමට කාරක සභාව අපේක්ෂා කරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

මෙම කාරක සභාවේදී කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන කිහිපයක වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

මේ අතර, වැවිලි අංශයේ තේ සහ රබර් භෝග පිළිබඳ පර්යේෂණ පැවැත්වීමේ අවශ්‍යතාවය කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළ අතර, ඒ සඳහා විදේශීය විශේෂඥයින්ගේ සහාය ද ලබා ගත හැකි බව පැවසුවේය. 

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා ද මෙහි දී සලකා බලා අනුමත කරන ලදී.