ආපදා මැද රිය අනතුරු - තිදෙනෙකුට දිවි අහිමිවෙයි

ආපදා මැද රිය අනතුරු - තිදෙනෙකුට දිවි අහිමිවෙයි

December 1, 2025   08:22 am

රට පුරා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.   

දික්වැල්ල රත්මලේ මාර්ගයේ කිරිනැලිය ප්‍රදේශයේ දී ට්‍රැක්ටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී රියදුරු එම රථයටම යටවීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ රියදුරු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක් වූ කෝට්ටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

එමෙන්ම අරලගංවිල, ගල්තලාව යාය 05 මාර්ගයේ යාය 05 දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා වැටී තිබූ ගසක් කපා ඉවත් කිරීමෙන් පසු ඉතිරි වූ දැව කඳක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

අරලගංවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මහරගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දිය ප්‍රදේශයේදී ද සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

හයිලෙවල් මාර්ගයේ සිට වත්තේගෙදර දෙසට ධාවනය වූ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී මාර්ගයේ පෙරළීගොස් එක් පැදිකරුවෙකු දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා කලුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එක් පැදිකරුවෙකු මියගොස් තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ වයස අවුරුදු 18ක් වූ තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

මෘත ශරීරය කලුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.