විපතට පත් ජනතාවට සහන සැලසීමට යුද හමුදාව සීරුවෙන්

විපතට පත් ජනතාවට සහන සැලසීමට යුද හමුදාව සීරුවෙන්

November 28, 2025   10:10 am

මේ වන විටදී දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සහ ඔවුන්ට අවැසි උපකාර කිරීම සඳහා යුද හමුදා භටපිරිස් යොදවන ලෙසට ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කර ඇත්තේ, මේ වන විටත් 20,500ක පමණ වු යුද හමුදා භටපිරිසක් විපතට පත්වූ ජනතාව බේරාගැනීමට දිවයින පුරා යොදවා ඇති බවය.

ඊයේ (27) දිනයේ දී පමණක් ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් 3,790ක් පමණ වු ජනතාවක් මුදවාගෙන සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට යුද හමුදාව කටයුතු කර ඇත.

විශේෂයෙන් අයහපත් කාලගුණ තත්වයෙන් දැඩි බලපැමකට ලක්ව ඇති දිවයිනේ මධ්‍යම ප්‍රදේශයේ මහනුවර, නුවරඑළිය හා බදුල්ල යන දිස්ත්‍රිකයන් හි පවතින අධික ජලගැලිම් හා නායයෑම් හේතුවෙන් මාර්ග අවහිර වී ඇති නිසා මෙම මුදවාගැනීම් කටයුතුවලට බාධා ඇති වී ඇති නමුදු එම බාධාවන් මධ්‍යයේ වුවද මුදවා ගැනීම් කටයුතු අඛණ්ඩව සිදුකිරිමට යුද හමුදාව කටයුතු කරනු ලබයි. 

යුද හමුදාවට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාවද මුදවා ගැනීමේ කටයුතු සඳහා සක්‍රීය මැදිහත්ව සිටී.