පාර්ලිමේන්තු සේවිකාවක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේ අවසන් වාර්තාව

පාර්ලිමේන්තු සේවිකාවක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේ අවසන් වාර්තාව

November 25, 2025   01:56 pm

පාර්ලිමේන්තුවේ සේවිකාවකට කිසියම් අයුරක ලිංගික හිංසනයක් සිදුවී ඇත්දැයි සොයා බලා වාර්තා කිරීමට පත්කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් ඒ පිළිබඳ සකස් කළ ඇයගේ අවසන් වාර්තාව ඊයේ (24) කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබේ.

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවකට ලිංගික හිංසන සිදු වූවායැයි 2025.01.07 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා විසින් සභා ගර්භයේදී සිදුකළ කතාවකදී කරුණු දක්වා තිබුණි.

අදාළ කරුණ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලද අතර, එම පරීක්ෂණය පිළිබඳ පැමිණිලිකාර පාර්ශවය සෑහීමකට පත් නොවීම හේතුවෙන් අදාළ කරුණ පිළිබඳ බාහිර පරීක්ෂණයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව විසින් 2025.07.25 දින තීරණය කර ඇත.

ඒ අනුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් උක්ත කරුණට අදාළ සියලු පාර්ශව කැඳවා කරුණු විමර්ශනය කොට මෙම අවසන් වාර්තාව සකස් කොට ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසයි.

ඊයේ දින කථානායකවරයාට භාරදී ඇති ඒකී වාර්තාවට අනුව උක්ත පැමිණිල්ල සිදුකරන ලද නිලධාරීනියට කිසිදු ලිංගික හිංසනයක් සිදුව නොමැති බව විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව පෙනී යන බව වාර්තාව මගින් නිගමනය කොට තිබේ.

තවද එම අංශයේ වෙනත් කිසිදු නිලධාරිනියකට හෝ ලිංගික හිංසන සිදුවී නොමැති බවද එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.