හේමසිරිට සහ පූජිතට එරෙහි නඩුව කල් යයි

හේමසිරිට සහ පූජිතට එරෙහි නඩුව කල් යයි

November 24, 2025   04:48 pm

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති නඩුව ජනවාරි 26 දින යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත් මෙම නඩුවට මෙතෙක් විනිසුරු මඩුල්ලක් නම් කර නොතිබීම හේතුවෙන් එහි විභාගය ජනවාරි 26 යළි කැඳවන බව මහාධිකරණ රෙජිස්ටර්වරිය නිවේදනය කර ඇති බව සඳහන් වේ.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මීට පෙර නියෝග කර තිබුණි. 

එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දුන් තීන්දුව ඉවත දමමින් අදාළ නඩුව යළි කැඳවා විත්තියේ සාක්ෂි කැඳවීමෙන් අනතුරුව තීන්දුවක් ලබාදෙන ලෙස එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට නියම කර තිබුණි.