ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු සහ මි.මී. 100ට වැඩි තද වැසි

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු සහ මි.මී. 100ට වැඩි තද වැසි

November 24, 2025   04:16 pm

බස්නාහිර, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව, මඩකළපුව, අම්පාර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ.

අකුණු සහ ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල පහත ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අවවාද කෙරේ.

  • එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ වාහනයක් තුළ රැදී සිටින්න.
  • කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථන වල රැදී සිටීමෙන් වලකින්න.
  • රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වලකින්න.
  • බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වලකින්න.
  • තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව සැලකිලිමත් වන්න.
  • හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනා කරණ නිලධාරීන්ගේ සහය පතන්න.

එමෙන්ම දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතිනු ඇත.

උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර, උතුරු - මැද, ඌව සහ දකුණු පළාත් වල ඇතැම් ස්ථාන වල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

උතුරු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැක.

එමෙන්ම දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව සඳහන් වේ.

එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (24) දිනයේදී ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතිබව දැනුම් දී තිබේ. 

ඉන්පසු එළඹෙන පැය 48 තුලදී එම පද්ධතිය තවදුරටත් සුළි කුනාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව දැනුම් දෙයි.

සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) පමණ දක්වා ඉහළ යා හැක.

මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

එබැවින්  ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.