ආපදාවන්ට මුහුණ දී ඇති උසස් පෙළ අපේක්ෂකයින්ට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

ආපදාවන්ට මුහුණ දී ඇති උසස් පෙළ අපේක්ෂකයින්ට විශේෂ ප්‍රවාහන සැලැස්මක්

November 23, 2025   07:18 pm

මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ ඇතිවූ ආපදා තත්ත්වයත් සමග අවහිරතාවන්ට මුහුණ දී ඇති උසස් පෙළ විභාග අපේක්ෂකයින් හට අදාළ විකල්ප මාර්ග හරහා සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සම්බන්ධීකරණයෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

තවද, හදිසි ජල ගැලීම් වැනි ආපදා අවස්ථාවන් හි දී විභාග අපේක්ෂකයින් හට සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සැලසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග පැවැත්වෙන දිනයන්හි දී ඉහත දක්වා ඇති පරිදි විකල්ප ප්‍රවාහන ක්‍රම සඳහා ද ප්‍රවේශ වීමට නොහැකි යම් අපේක්ෂකයකු වේ නම් ළඟම පිහිටි කලාප අධ්‍යාපන කාර්යාලය හෝ පහත සඳහන් දුරකථන අංක අමතන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

ඒ අනුව, මෙම අයහපත් කාලගුණික තත්ත්වය පවතින කාලය තුළ විභාග මධ්‍යස්ථාන වෙත කල් වේලා ඇති ව පැමිණීමට සැලසුම් කර ගන්නා ලෙස ද ඉල්ලා සිටියි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හදිසි ඇමතුම් අංකය : 117
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය : 1911