යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට කරුණු 28ක යෝජනාවලියක්

යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට කරුණු 28ක යෝජනාවලියක්

November 22, 2025   01:45 pm

රුසියා - යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව මැදිහත්ව කෙටුම්පත් කළ, කරුණු 28කින් සමන්විත යෝජනාවලියක් පසුගිය දිනෙක විදෙස් මාධ්‍ය වෙත අනාවරණ වී තිබුණි.

එම යෝජනාව අනුව, මේ වන විට රුසියාව අත්පත් කරගෙන සිටින යුක්‍රේන භූමි ප්‍රදේශ රැසක් රුසියානු පාලනය යටතේම තැබීමටත්, නේටෝ සංවිධානයට එක්වීමේ අපේක්ෂා අත්හැරීමටත් මෙන්ම සිය හමුදාවන්ගේ ප්‍රමාණය අඩු කිරීමටත් යුක්‍රේනය කටයුතු කළ යුතු වේ.

රුසියාවේ ද සහාය ඇතිව කෙටුම්පත් කෙරුණු මෙම යෝජනාවලිය සකස් කිරීමට යුක්‍රේනයේ කිසිඳු නියෝජනයක් ලබාගෙන නොතිබීම විශේෂත්වයකි.

මෙවන් පසුබිමක අදාළ යෝජනාවලිය සඳහා එකඟවීමට යුක්‍රේනයට නොවැම්බර් 27 වැනිදා දක්වා පමණක් කාලය ලබාදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (21) පවසා තිබේ.

මේ අතර ජාතිය අමතා ප්‍රකාශයක් සිදු කරමින් යුක්‍රේන ජනාධිපති වොලැදිමීර් සෙලෙන්ස්කි ඊයේ පවසා තිබුණේ අදාළ යෝජනාවලිය හේතුවෙන් යුක්‍රේනය මේ වන විට සිය අභිමානය නැතිකර ගැනීම හෝ සිය සමීප මිතුරෙකු වන අමෙරිකාව නැති කරගැනීම යන අවධානමට මුහුණ දී සිටින බවය.

රුසියාවට වඩාත් හිතකර බවට පෙනී යන අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසන්නේ එය ස්ථීර සාමයක් සඳහා වන පදනමක් වනු ඇති බවය.

2022 වසරේ පෙබරවාරි මාසයේ ආරම්භ වූ රුසියා - යුක්‍රේන යුද ගැටුම මේ වන විට වසර හතරකට ආසන්න කාලයක් දිග්ගැස්සෙමින් පවතින්නේ දෙපාර්ශ්වයේම ජීවිත සහ දේපල රැසක් විනාශ කරමිනි.