ජපානයෙන් ගෙන්වන 'සී ෆුඩ්වලට' චීනයෙන් තහනමක්

ජපානයෙන් ගෙන්වන 'සී ෆුඩ්වලට' චීනයෙන් තහනමක්

November 19, 2025   11:16 pm

චීනය හා ජපානය අතර මේ වනවිට උද්ගතව ඇති රාජ්‍ය තාන්ත්‍රික ආරවුල් මධ්‍යයේ, ජපානයෙන් මුහුදු ආහාර ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට චීනය කටයුතු කර තිබේ.

2023 වසරේ දී ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණශීලී ජලය මුහුදට මුදාහැරීමෙන් පසු එම වසරේදීම බීජිං පරිපාලනය විසින් ජපානයෙන් සමුද්‍රීය නිෂ්පාදන ආනයන සීමාවන් පැනවීය.

කෙසේ නමුත් එම තහනම සීමාවන්ට යටත්ව ඉවත්කිරීමට චීනය පසුගියදා කටයුතු කර තිබුණි.

චීනය යනු ජපානයේ ප්‍රධානම මුහුදු ආහාර අපනයනකරුවා වේ.

එවන් වාතාවරණයකදී ජපාන වත්මන් අගමැති සනඑ තකඉචි විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් දෙරට අතර රාජතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී ඇත.

ජපාන අගමැතිනිය පසුගියදා ප්‍රකාශකර තිබුණේ, චීනය විසින් තායිවානයට ප්‍රහාරයක් එල්ල කළහොත් තම රටේ ආත්මාරක්ෂාව වෙනුවෙන් සිය හමුදා හරහා ඊට ප්‍රතිචාර දක්වන බවය.

එම ප්‍රකාශය මෙම මතභේදාත්මක තත්ත්වයට හේතු වූ අතර, එම ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙස චීනය මේ වනවිට ජපානයට බලපෑම් කර තිබේ.

කෙසේ නමුත් ජපානය පවසන්නේ තමන් සිය ස්ථාවරයේම සිටින බවය.

අග්‍රාමාත්‍යවරියගේ එම ප්‍රකාශයට විරෝධය පළකිරීමක් ලෙස චීනයේ විසින් සිය ජපාන තානාපතිවරයා යළි කැඳවීමට තීරණය කර ඇති බවත් සඳහන්.

එමෙන්ම ජපානයේ සංචාරයේ කිරීමෙන් වැළකී සිටින ලෙස චීනය සිය පුරවැසියන්ට දැනුම්දීමක් සිදුකර ඇත.