සිසුවෙකු අපයෝජනය කළ ගුරුවරයෙක් රිමාන්ඩ්

සිසුවෙකු අපයෝජනය කළ ගුරුවරයෙක් රිමාන්ඩ්

November 18, 2025   05:17 pm

වයස අවුරුදු 14ක සිසුවෙකු අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු දෙසැම්බර් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරටුව මහෙස්ත්‍රාත්වරයා අද (18) නියෝග කර තිබේ.

එමෙනම් මෙම සිදුවීම වසන් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාව ලක්ෂ දෙකක ශරීර ඇප 2ක් මත නිදහස් කිරීමටත් මෙහිදි නියෝග කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. 

මොරටුව පොලිස් වසමේ ප්‍රසිද්ධ පාසලක වයස අවුරුදු 14ක සිසුවෙකු අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් එම පාසලේ ගුරුවරයෙකු සහ එම සිදුවීම වසන්කිරීම සම්බන්ධයෙන් එහි විදුහල්පතිවරයා මොරටුව පොලීසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 58 සහ 59 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයා පාසල් රථ වාහන නියාමක භාර ගුරුවරයෙකු වන අතර ඔහුට විරුද්ධව තවත් පැමිණිලි ඇතැයි සඳහන් වේ.