රන් ආභරණ අලෙවි සැලක් බිඳ මත්කුඩු පානය කළ සැකකරු කොටුවෙයි
November 10, 2025 12:24 pm
පිටකොටුව හෙට්ටිවීදිය ප්‍රදේශයේ රන් සහ රිදී භාණ්ඩ අලෙවි සැලකින් රුපියල් ලක්ෂ 60කට අධික රන් සහ රිදී භාණ්ඩ සොරාගෙන පලා ගිය සැකකරුවෙකු පිටකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය විසින් CCTV දර්ශන 70කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 1993 වසරේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස හඳුනාගත් 60 හැවිරිදි පුද්ගලයෙකු වන බවය.
සැකකරු එම වෙළෙඳසැලින් සොරා ගෙන තිබූ රන් ආභරණවලින් පවුමක් බර රන් ආභරණ සහ රිදී ආභරණවලින් කිලෝ 3කට ආසන්න ප්‍රමාණයක් බොරැල්ල සිරිසෙත උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසක වැසිකිළියක් තුළ සඟවා තිබියදී සැකකරු හෙළිකළ තොරතුරු මත පොලීසිය විසින් සොයාගෙන ඇත.
ඉකුත් මස 25 වන දින සැකකරු රාත්‍රී කාලයේදී රන් ආභරණ වෙළෙඳසැලේ දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වහලයෙන් වෙළෙඳසැලට ඇතුළු වී එහි මෙම සොරකම සිදුකර තිබුණි.
අදාළ සොරකම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව පිටකොටුව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් අපරාධය සිදුවූ ස්ථානය වෙත ගොස් සිදුකළ මූලික විමර්ශනවලදී මෙම සොරකම තනිව පැමිණි පුද්ගලයෙකු විසින් සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.
එහිදී අනාවරණය කරගත් තොරතුරු අනුව අවට CCTV කැමරා දර්ශන ඔස්සේ දින 5ක් පුරා සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස සැකකරු සොරකම සිදුකර දේපළ රැගෙන පලා ගිය ත්‍රීරෝද රථයද හඳුනාගෙන එහි රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරු මාලිගාවත්ත ප්‍රදේශයෙන් බැස ගිය බවට හෙළි වී ඇත.
සැකකරු සොරකමින් පසු තවත් පුද්ගලයෙකු සමග ගම්පොළ පුපුරැස්ස පන්විලතැන්න ප්‍රදේශයට ගොස් ඇති බවට පොලීසිය අනාවරණය කරගෙන ඇති අතර ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.
සැකකරු සොරා සොරා ගත් රන් ආභරණ සහ රිදී ආභරණ ලබාදී අයිස් සහ මත්කුඩු මිලදීගෙන පානය කර තිබූ බවටද වැඩිදුරටත් අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඔහුගේ වකුගඩුවක්ද විකුණා. මත්කුඩු පානය කර ඇතිබවට සිදුකළ ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වූ බවද පොලීසිය පැවසීය.
