'රටම එකට' ජාතික මෙහෙයුමෙන් සැකකරුවන්  දහසකට අධික පිරිසක් අත්අඩංගුවට

'රටම එකට' ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් දහසකට අධික පිරිසක් අත්අඩංගුවට

November 10, 2025   11:56 am

විෂ ‍මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ “රටම එකට“ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් ගතවූ දිනයේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ වැටලීම් දහසක් සිදුකර ඇති අතර එහිදි සැකකරුවන් 1,284 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 07යි ග්‍රෑම් 21ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 715ක ප්‍රමාණයක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.

ඊට අමතරව හෂීස්, ගංජා සහ මත්පෙති ඇතුළු තවත් මත්ද්‍රව්‍ය රැසක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 16 දෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කර ඇති අතර තවත් 15 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කළ ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 12,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.