වසරේ මේ දක්වා කාලය තුළ ගිනිඅවි 2,000කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට
October 24, 2025 05:10 pm
මුළු දිවයිනම ආවරණය වන පරිදි ජනවාරි 12 වැනිදා සිට මේ දක්වා සිදු කළ විශේෂ මෙහෙයුමකින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 5,414 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම සැකපිට පුද්ගලයන් 129,448 දෙනෙකු හා වරෙන්තුකරුවන් 56,365 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
එහිදී සමස්තයක් ලෙස පුද්ගලයින් 6,127,138 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබේ.
එමෙන්ම බීමත් රියදුරන් 47,938 දෙනෙක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 769,933ක් සදහා ද පොලීසිය නෛතික පියවර ගෙන ඇත.
මෙම මෙහෙයුම් හරහා ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා ටී 56 ගිනිඅවි 67ක්, පිස්තෝල වර්ගයේ ගිනිඅවි 73ක් , රිවෝල්වර් 50ක් හා වෙනත් අවි 1,907ක් ඇතුළුව ගිනිඅවි 2,097ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
එමෙන්ම ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝම්බර් 22 දක්වා කාල සීමාව තුළ සිදු කරන ලද වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,482යි ග්‍රෑම් 820ක්, ගංජා කිලෝග්‍රෑම් 14,434යි ග්‍රෑම් 468ක්, කොකේන් කිලෝග්‍රෑම් 32යි ග්‍රෑම් 642ක්, හෂීස් කිලෝග්‍රෑම් 582යි ග්‍රෑම් 136ක්, අයිස් කිලෝග්‍රෑම් 2,542යි ග්‍රෑම් 454ක්, මත් පෙති 3,961,790ක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.
