නීති ප්‍රඥප්ති කාලීනව සංශෝධනය වීම අත්‍යවශ්‍ය කරුණක් - පොලිස්පති

නීති ප්‍රඥප්ති කාලීනව සංශෝධනය වීම අත්‍යවශ්‍ය කරුණක් - පොලිස්පති

October 20, 2025   07:52 pm

ජනතාවට සාධාරණ සමාජයක් ඇතිකිරීමට නම් නීතියේ පවතින හිඩැස් නොපමාව නිවැරදි කළ යුතු බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

පොලිස්පතිවරයා පෙන්වාදෙන්නේ නීති ප්‍රඥප්ති කාලීනව සංශෝධනය වීම අත්‍යවශ්‍ය කරුණක් බවය.

නීති විරෝධී ලෙස ඉපැයූ මුදල්, දේපළ සහ වත්කම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ස්ථාපිත කෙරුණු ‘අපරාධයකින් උත්පාදිත දේ විමර්ශණ කොට්ඨාසය‘ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව පැවසීය.

පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති එම කොට්ඨාසය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ විවෘත කෙරුණු අතර එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා පත් කර තිබේ.

2025 අංක 05 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිලිබඳ පනතේ විධි විධාන ප්‍රකාරව මෙම නව කොට්ඨාශය පිහිටුවා ඇති බව සඳහන් වේ.

අනතුරුව අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ මෙම කොට්ඨාසය හරහා ප්‍රසිද්ධ විමර්ශන රැසක කටයුතු කාර්යක්ෂමව සිදු කිරීමේ හැකියාව පවතින බවය.