ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

October 20, 2025   05:40 pm

ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (20) සවස 04.00 ට නිකුත් කරන ලද සාමාන්‍යය කාලගුණ අනාවැකියේ, දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති බව සඳහන් වේ.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව දැනුම් දී තිබේ.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.

එමෙන්ම තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව ද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි අද ප. ව. 02.30 ට මෙම නිවේදනය නිකුත් කර තිබේ.

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වන ලෙස එහි සඳහන් වේ.

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් පහත සිතියමේ “Advisory” කාණ්ඩය යටතේ ලකුණු කරඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55–65) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වන බව දැනුම් දී තිබේ.