ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අත්හැර දමයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අත්හැර දමයි

October 14, 2025   10:33 pm

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් අද (14) අත්හැර දැමීමට සිදුවුණි.  

ඒ අනුව දෙපිලටම හිමි වුණේ එක් ප්‍රසාද ලකුණ බැගින්ය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායිකාව දිනා ගත් අතර ඇය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළාය.

ඒ අනුව ආරම්භක පිතිකරු ස්ථානයේ වෙනසක් සිදු කරමින් චමරි අතපත්තු සමගින් මෙම තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ විශ්මි ගුණරත්නයි.

ඔවුන් දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පළමු කඩුල්ලට ලකුණු 101ක සබඳතාවක් ගොඩනැගුවාය.

චමරි අතපත්තු ලකුණු 53ක් රැස් කළ අතර විශ්මි ගුණරත්න ලකුණු 42ක් රැස් කළාය.

හර්ෂිතා මාධවී සහ හසිනි පෙරේරා තුන්වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ගොඩනැගූ අතර මෙවර තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය පන්දු 26කදී වාර්තා කිරීමට නිලක්ෂිකා  සිල්වා සමත්වුණි.

මෙය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් එක්දින පිටියේ වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකයද වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා පිල නියමිත පන්දුවා 50දී කඩුලු 5ක් දැවී ලකුණු258ක් රැස් කළේ නවසීලන්ත පිලට සටනක් දිය හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්ය. 

ශ්‍රී ලංකා ඉනිමෙන් අනතුරුව ක්‍රීඩාංගණයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණි.

දිගින් දිගටම ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමීමට සිදු වූ අතර ඒ අනුව දෙපිලටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වුණි.