බස් ලලිත්ට එල්ලවී ඇති චෝදනා මෙන්න
October 14, 2025 09:01 pm
අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නංගර නොහොත් "බස් ලලිත්" ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
මහා පරිමාණ හෙරොයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන "බස් ලලිත්" නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටින අයෙකි.
මොහු, දැනට මියගොස් ඇති අපරාධකරුවන් දෙදෙනෙකු වන සමයන් සහ ඌරු ජුවාගේ සමීපතමයෙක් ද වෙයි.
රතු වරෙන්තු නිකුත්වී ඇති "බස් ලලිත්" මීට පෙරද ඩුබායිවලදී අත්අඩංගුවට ගෙන පසුව නිදහස්වී සිටි අතර ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද ඩුබායි රටට ගෙන්වාගෙන තිබුණි.
රවිඳු සංඛ ද සිල්වා හෙවත් "බූරුමූණා" නැමැත්තා ලවා 2022 වසරේ හංවැල්ලේදී මුස්ලිම් ව්‍යාපාරිකයෙකුත් , 2023 වසරේ සැප්තැම්බර් මස 30වනදා හංවැල්ල නෙළුවත්තුඩුව ප්‍රදේශයේදී තවත් ව්‍යාපාරිකයෙකුත් ඝාතනය කිරීම, 2023 වසරේදී මන්න රොෂාන් සහ ඔහුගේ මිතුරෙකු ඝාතනය කිරීම, 2024 වසරේදී හංවැල්ල ප්‍රදේශයේදී වජිර නිශාන්ත නැමැත්තා සහ මීට පෙර ඝාතනය කළ මන්න රොෂාන්ගේ සොහොයුරෙකු ඝාතනය කිරීම, 2025 වසරේ අගෝස්තු 12 වැනිදා හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් බනා මන්ත්‍රී නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, 2025 වසරේ ජූලි 06 වැනිදා කොටහැර පොඩ්ඩා නැමැත්තා සහ දෙමටගොඩ රුවන් නැමැත්තා කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම "බස් ලලිත්" නැමැත්තාට එල්ලවී ඇති චෝදනායි.
ඊට අමතරව කප්පම් ගැනීමේ සිදුවීම් 15කට අදාළව ද ඔහුට චෝදනා එල්ලවී තිබේ.
"බස් ලලිත්" නමැති අපරාධකරුගේ තර්ජන හමුවේ හංවැල්ල, මීගොඩ සහ කොස්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් රැසක් ද පසුගිය කාලයේ සිය නිවෙස් අතහැර ගොස් තිබුණි.
සැකකරු නුදුරු දිනකදී මෙරටට රැගෙන ඒමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කළේය.
මේ අතර බස් ලලිත් නමැත්තා අත්අඩංගුවට ගැනීම සැලවීමත් සමග හංවැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව රතිඤ්ඤා දල්වමින් සතුට සැමරූ ආකාරයද දැකගත හැකිවුණි.