මේ මස අවසන් වන විට දකුණු කොරියානු රැකියා සඳහා පිටත්ව ගිය පිරිස 3,000 ඉක්මවයි

මේ මස අවසන් වන විට දකුණු කොරියානු රැකියා සඳහා පිටත්ව ගිය පිරිස 3,000 ඉක්මවයි

October 14, 2025   05:33 pm

මේ වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 2,927දෙනෙකු කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය පැවසුවේ මෙම පිරිස අතරට තරුණියන් 100 දෙනෙකු ද අයත් වන බවය.

ඒ අනුව නිෂ්පාදන අංශය සඳහා ලාංකිකයින් 2,197 දෙනෙකුට රැකියා අවස්ථා හිමිවී ඇති අතර ධීවර අංශය සඳහා 680ක්ද ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථා සඳහා 23 දෙනෙකුද, කෘෂිකාර්මික අංශය සඳහා දෙදෙනෙකුටද රැකියා අවස්ථා හිමිව තිබේ.

මේ අතර දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ තවත් ශ්‍රී ලාංකිකයින් 200කට ආසන්න පිරිසක් ද මෙම මාසය අවසන් වීමට පෙර දකුණු කොරියාව බලා පිටත් කිරීමට එම කාර්යාංශය සැලසුම් කර ඇත.

ඒ සමග වසර ආරම්භයේ සිට මෙම මස අවසන් වන විට දකුණු කොරියානු රැකියා සඳහා පිටත්ව ගිය පිරිස 3,000 ඉක්මවන බව එම කාර්යාංශය සඳහන් කළේය.

මේ අතර 2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්කරුවන් 36,475 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ඒ සඳහා වූ විභාගය එළැඹෙන 23 වැනිදා ආරම්භ වීමට නියමිත බවත් එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.