මාරක රිය අනතුරු 04ක්‍- පියතුමෙකුටත් දිවි අහිමි වෙයි

මාරක රිය අනතුරු 04ක්‍- පියතුමෙකුටත් දිවි අහිමි වෙයි

September 22, 2025   08:13 am

දිවයින පුරා ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරු 04කින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ (22) සිදුව ඇති බවය.

ඒ අනුව ඊයේ දහවල් කාලයේ ඉලුප්පකඩවෛ පොලිස් වසමේ යාපනය මන්නාරම මාර්ගයේ කල්ලියඩි ප්‍රදේශයේදී මන්නාරම දෙස සිට යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ඉදිරියෙන් ධාවනය වූ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී පැදිකරුට පාලනය කරගත නොහැකිව අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පැදිකරු හා පසු පැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එහිදී පැදිකරු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 45ක් වූ ඉලෙයිවාලි, යාපනය ප්‍රදේශයේ පදිංචි පියතුමෙකි.

මුල්ලේරියාව පොලිස් වසමේ කඩුවෙල අංගොඩ මාර්ගයේ අංගොඩ මංසන්ධියේදී කඩුවෙල දෙස සිට අංගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගය මත පෙරලී අනතුරක් සිදුව තිබේ.

එහිදී පැදිකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 37ක් වූ ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර ඊයේ සවස් කාලයේදී ත්‍රිකුණාමලය දඹුල්ල මාර්ගයේ දඹුල්ල නගරයේදී හබරණ දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ වැලි පටවා ගත් ටිපර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 56ක් වූ දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොඩිකාමම් පොලිස් වසමේ කච්චායි කොඩිකාමම් මාර්ගයේ කච්චායි උතුරු පළමු හරස් වීදිය අසලදී කච්චායි කොඩිකාමම් දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එහිදී පසුපැදිකාරිය ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචිකාරියකි.