මෙරට තෙවැනි නැනෝ චන්ද්‍රිකාව හෙට කක්ෂගත වෙයි

මෙරට තෙවැනි නැනෝ චන්ද්‍රිකාව හෙට කක්ෂගත වෙයි

September 18, 2025   06:18 am

මෙරට ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව හෙට (19) දින කක්ෂගත කිරීමට නියමිත බව මොරටුව ආතර් සී ක්ලාක් ආයතනය පවසයි.

බර්ඩ්ස් - එක්ස් ඩ්‍රැගන්ෆලයි ලෙස නම්කර ඇති එම චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වනදා නාසා ආයතනය විසින් දියත් කළ එස්.පී.එක්ස් - 33 රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙන ගොස් තිබේ.

2019 වසරේදී මෙරට පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස “රාවණ - 1“ චන්ද්‍රිකාවත් 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශවයන් 5ක සහභාගීත්වයෙන් යුතු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය කළ “කිට්සුනේ“ චන්ද්‍රිකාවත් මීට පෙර කක්ෂගත කර තිබුණි.

ඒ අනුව බර්ඩ්ස් - එක්ස් ඩ්‍රැගන්ෆලයි නැනෝ චන්ද්‍රිකාව හෙට පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත මුදා හැරීමට නියමිතය.