මූල්‍ය ආරවුල් සඳහා විශේෂ සමථ මණ්ඩල
September 16, 2025 09:25 pm
අධිකරණයට යොමුවන මූල්‍ය ආරවුල් අවම කිරීම සඳහා මූල්‍ය ආරවුල් පිළිබඳ විශේෂ සමථ මණ්ඩල පිහිටු වීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා පවසයි.
එහි පළමු අදියර යටතේ කොළඹ, ගම්පහ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර සහ මොනරාගල දිස්ත්‍රික්ක තුළ විශේෂ මුල්‍ය ආරවුල් පිළිබඳ සමථ මණ්ඩල පිහිටුවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 ජාතික සමථ මණ්ඩල දිනය වෙනුවෙන් සමථ මණ්ඩල කොමිෂන් සභාවේ පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය.
"සමථකරණ ක්‍රියාවලියට මේ වසර ඉතාම සුවිශේෂී වර්ෂයක් වන අතර 2025 වර්ෂයේ අයවැය මඟින් සමථ මණ්ඩල කොමිෂන් සභාව වෙත රුපියල් බිලියනයකට අධික ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. එමෙන්ම සමථ මණ්ඩල ශක්තිමත් කර ඉඩම් ආරවුල් පිළිබඳ විශේෂ සමථ මණ්ඩල දිස්ත්‍රික් 16ක පිහිටුවා ඇති අතර අධිකරණයට යොමුවන මූල්‍ය ආරවුල් ප්‍රමාණය අඩු කිරීම සඳහා මුල්‍ය ආරවුල් පිළිබඳ විශේෂ සමථ මණ්ඩලයන් හඳුන්වා දී ඇති අතර එහි පළමු පියවර වශයෙන් කොළඹ, ගම්පහ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර සහ මොනරාගල යන දිස්ත්‍රික්කයන් හයෙහි විශේෂ මූල්‍ය ආරවුල් පිළිබඳ සමථ මණ්ඩල පිහිටුවීමට මේ වන විටත් කටයුතු කර තිබෙනවා. සමථ මණ්ඩලය වෙත වසරකදී ආරවුල් ලක්ෂ දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් යොමු වෙනවා. සමථකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම තුළින් අධිකරණය තුළ ගොඩගැසීමට තිබූ තවත් නඩු ලක්ෂ දෙකක් පමණ වසරකදී අඩු කර ගැනීමට අපේක්ෂා කරනවා."