ස්ථාන දෙකකදී පුරා වස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පිරිසක් අත්අඩංගුවට
September 15, 2025 07:28 am
දිවයිනේ ස්ථාන දෙකකදී පුරා වස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු සිදුකළ පුද්ගලයින් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල සහ බණ්ඩාරදූව යන ප්‍රදේශවල කැණීම් කටයුතු සිදු කළ පුද්ගලයින් පිරිසකි.
ඒ අනුව ඊයේ (14) සවස් කාලයේදී ගලේවෙල පොලිස් වසමේ මාදිපොල ප්‍රදේශයේදී ගලේවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරුක් මත සිදුකළ වැටලීමකදි පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කටයුතු කරමින් සිටි සැකකරුවන් 07 ගලේවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සමගම ඔවුන් විසින් කැණීම් කටයුතු සඳහා යොදා ගන්නා ලද උපකරණ සහ පූජා භාණ්ඩ කිහිපයක්ද පොලිස් භාරයට ගැනීමටද කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28-58ත් අතර වයස්වල පසුවන මාදිලිපොල, වැලිකන්ද, මිල්ලවාන, දම්මින්න හා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය පැවසීය.
මේ අතර ඊයේ සවස් කාලයේදී බණ්ඩාරදූව පොලිස් වසමේ නවගිරියාව ප්‍රදේශයේදී බණ්ඩාරදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.
එහිදී පුරා වස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවෙකු කැණීම් උපකරණ හා පූජා භාණ්ඩද සමගින් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 63ක් වූ නවගිරියාව, ගොනාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර ඊයේ උදෑසන කාලයේදී මොරගොඩ පොලිස් වසමේ හල්මිල්ලෑව ප්‍රදේශයේදී මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.
එහිදී ඇත්දළ දෙකක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 46ක් වන නාමල්පුර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.