දෙරණ කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය වර්ණවත් කරන BOOM TOWN ප්‍රසංගය

දෙරණ කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය වර්ණවත් කරන BOOM TOWN ප්‍රසංගය

August 24, 2025   08:09 pm

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුවිසල්ම ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය ලෙසින් 2025 දෙරණ සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය අද ගාලු මුවදොර පිටියේදී පැවැත් විය.

දෙස් විදෙස් තරගකරුවන් ඇතුළු දිවයිනේ නන්දෙසින් පැමිණි නරඹන්නන් අතිවිශාල පිරිසකගෙන් ගාලුමුවදොර පිටිය පීරී ගියේ ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියක අත්දැකීම තිළිණ කරමිනි.

කොළඹ අහස විචිත්‍රවත් කරන දෙරණ සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය සඳහා අද උදෑසන සිටම කොළඹ ගාලුමුවදොර පිටිය සූදානම්  වූ අතර තරගකරුවන් ලියාපදිංචි කිරීම අද උදෑසන 11ට ආරම්භ කෙරිණි.

පස්වරු 1.00ට ආරම්භ වූ දෙරණ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියේ දේශීය මෙන්ම ජාත්‍යන්තර තරගකරුවන්ගේ සරුංගල් විශාල ප්‍රමාණයක් ඉහළ අහසට එක් කෙරිණි.

ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියක අත්දැකීම තිළිණ කරමින් TV දෙරණ සාඩම්බරයෙන් ගෙන ආ සරුංගල් සැණකෙළියට සංවිධාන ශක්තිය ලබාදුන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා පොලිසියයි.

සරුංගල් සැණකෙළිය සඳහා දේශීය තරගකරුවන් 500ක් එක්විය.

එමෙන්ම, විදේශීය තරගකරුවන් 55 දෙනෙකුද සහභාගිවූයේ ඔස්ට්‍රේලියාව,  ජර්මනිය, චීනය, ඉන්දියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, නෙදර්ලන්තය සහ පිලිපීනය ඇතුළු රටවල් 25ක් නියෝජනය කරමිනි.

පස්වරු 1.00ට දේශීය තරග ඉසව් ආරම්භ කෙරුණු අතර තරග කාණ්ඩ 07ක් ඔස්සේ තරගකරුවන් තරග වැදුණි.

ඒ දෙරණ ලාංඡනය යෙදූ හොඳම සරුංගලය, නිර්මාණාත්මකම සරුංගලය, සිග්නල් ලාංඡනය යෙදූ ලස්සනම සරුංගලය, මැජික් විචිත්‍රවත්ම සරුංගලය, සන් ක්‍රශ් මැජිකල් ශ්‍රී ලංකා සරුංගලය, හොඳම රාත්‍රී සරුංගලය සහ රිට්ස්බරි වයස අවුරුදු 15න් පහළ ලස්සනම සරුංගලය ආදී කාණ්ඩ යටතේය.

තරගකරුවන්ට අමතරව සරුංගල් සැණකෙළිය නැරඹීම සදහා දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල ජනකායකගෙන් ගාලු මුවදොරපිටිය පිරී ගියේය.

මෙම අවස්ථාවට දෙරණ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දිලිත් ජයවීර මහතාද එක්විය.

සරුංගල් සැණකෙළිය සහ ඊට සමගාමීව පැවත්වුණු ඩීම්ස්ටාර් සහ ලිට්ල්ස්ටාර් තරු සහභාගී වූ ප්‍රාසාංගික අත්දැකීම අද පස්වරු 4.00 සිට ටී.වී. දෙරණ ඔස්සේ සජීවීව විඳගැනීමේ අවස්ථාවද මෙරට ජනතාවට හිමි විය.

ජයග්‍රාහි තරගකරුවන්ට ත්‍යාග ලබාදීම සිදුකෙරුණේ අද පස්වරුවේදීය.

මෙරට ජනතාවට සරුංගල් සැණකෙළියක නවමු අත්දැකීමක් සමීප කරමින් අද රාත්‍රියේ පැවැත්වූ සරුංගල් සැණකෙළියෙන් කොළඹ අහස තවත් ලස්සන විය.

සරුංගල් සැණකෙළිය අවසානයේ අද රාත්‍රී 8.00ට ගාලුමුවදොර පිටියේදී FM දෙරණ BOOM TOWN සංගීත ප්‍රසංගය ආරම්භ විය.

ප්‍රසංගය සංගීතවත් කරන්නේ තාරුණ්‍යයේ අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඇවටා සංගීත කණ්ඩායමය.

එම ප්‍රසංගය අද රාත්‍රී 10.30 සිට ටී.වී.දෙරණ ඔස්සේ සජීවීව විකාශය කෙරේ.