රට සිහින මවා මුදල් වංචා කළ විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට

රට සිහින මවා මුදල් වංචා කළ විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට

August 13, 2025   06:32 am

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000ක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේය.

අත්අඩංගුවට පත් සැකකරු විසින් රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සහායක රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී 2023 වසරේ සිට තමන්ව රවටමින් අවස්ථා කිහිපයකදී මුදල් ලබා ගත් බවට බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලිකර තිබේ.

විදේශ රැකියා ඒජන්සි සමාගම, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ පාලනය වන අතර අත්අඩංගුවට පත්වන විට සැකකරු එම සමාගමේ පරිගණක අංශයේ සහකාර කළමනාකරු වශයෙන් සේවය කරමින් සිට ඇති බව සඳහන්ය.

සැකකරු අද (13) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයව තිබේ.