ගාසා තීරයේ මන්දපෝෂණයෙන් මිය ගිය ගණන තවත් ඉහළට

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් මිය ගිය ගණන තවත් ඉහළට

August 9, 2025   09:33 pm

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් තවත් 11 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සංවිධානය විසින් මෙහෙයවන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.

ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය ආශ්‍රිතව මරණ සංඛ්‍යාව 212ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම මරණවලින් 98 දෙනෙකු ළමුන් බවත් එම වාර්තා පෙන්වා දී තිබේ.

මේ අතර පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලය විසින් සිදුකරන ලද හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 491ක් තුවාල ලබා ඇතැයිද එම සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කර ඇත.

එමෙන්ම මේ වන විට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා මූලධර්ම 05ක් එළි දක්වා ඇති අතර ඉන් එකක් වනුයේ භූමියෙහි ආරක්ෂක පාලනය අත්පත් කර ගැනීමය.

ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර ඇත්තේ සැලැස්ම මගින් අවධානය යොමු කරනුයේ ගාසා නගරයේ සම්පූර්ණ පාලනය අත්පත් කර ගැනීම සහ එහි ඇස්තමේන්තුගත මිලියනයක පදිංචිකරුවන් තවත් දකුණට ගෙන යාම බවය.

කෙසේ වෙතත් මෙම සැලැස්මට ලෝක නායකයින්ගේ විවේචනය මෙන්ම ඊශ්‍රායලය තුළ සිටින ඇතැම් පිරිස්ද දැඩි විරෝධයක් එල්ල කර තිබේ.

විශේෂයෙන් ගාසා තීරයේ රඳවා තිබෙන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයින් මේ සම්බන්ධව රජයට දැඩි විරෝධයක්ද එල්ල කර ඇති අතර එමගින් ඔවුන් චෝදනා කර ඇත්තේ ඊශ්‍රායල රජය ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත අනතුරේ හෙළන බවය.

නමුත් එල්ල වන චෝදනා සහ විවේචන ප්‍රතික්ෂේප කර ඇති ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ විවේචන තුළින් සිය අධිෂ්ඨානය දුර්වල නොකරන බවත්ය.