ලෙජන්ඩ්ස් ශූරතාව දකුණු අප්‍රිකා චැම්පියන්ස්ට
August 3, 2025 08:26 pm
'වර්ල්ඩ් චැම්පියන්ෂිප් ඔෆ් ලෙජන්ඩ්ස්' විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඒ.බී. ඩිවිලියර්ස් ප්‍රමුඛ දකුණු අප්‍රිකා චැම්පියන්ස් කණ්ඩායම සමත් විය.
ඒ අවසන් මහා තරගයේදී පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමින්ය.
කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් මෙම තරගාවලිය එංගලන්තයේ දී පැවැත්විණි.
බර්මින්හැම් හි පැවති අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 195ක් රැස්කිරීමට සමත් විය.
එහිදී ෂර්ජීල් ඛාන් ලකුණු 76ක් රැස්කළ අතර, දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී හාර්ඩස් විල්ජෝන් සහ වේන් පාර්නිල් කඩුලු 2 බැගින් දවාගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකා චැම්පියන්ස් කණ්ඩායම පන්දුවාර 16.5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.
දකුණු අප්‍රිකා චැම්පියන්ස් ජයග්‍රහණය කරා රැගෙන ගිය AB ඩිවිලියර්ස් සුපිරි ඉනිමක් ක්‍රීඩාකරමින් නොදැවී ලකුණු120ක් ලබා ගත්තේය.