නීතිය සියලු දෙනාටම එක සමාන විය යුතුයි - අධිකරණ ඇමති
August 2, 2025 03:54 pm
මහජනතාවට සේවාවන් ලබා ගැනීමට පවතින රජය යටතේ තවදුරටත් ඇමතිවරුන් මන්ත්‍රීවරුන් පසුපස යා යුතු නොමැති බව අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
Know Your Neethi ( ඔබේ නීතිය හඳුනා ගන්න) තේමාව යටතේ මහජනතාවට නීති ආධාර ලබාදීමේ සහ නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන දින වැඩසටහනට අද (02) පෙරවරුවේ අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"මහජනතාවට යුක්තියට ප්රවේශවීමට ඇති අවස්ථා ලබාදීම සඳහා ඔවුන්ට සාමාන්‍ය නීතිය සම්බන්ධයෙන් වු දැනුම අවබෝධය ලබා දිය යුතුයි. මුලික නීතිය සම්බන්ධයෙන් අවබෝධය නොමැතිවීම හේතුවෙන් තමන්ට පවතින ප්‍රශ්න ගෙන යා යුත්තේ කුමන ස්ථානයට යන්න දැනුම ඔවුන්ට නැහැ. මේ තත්ත්වය අවම කිරීම සඳහා දැනුවත් කිරීමේ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අතිශයින් වැදගත් වෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් නීතිය සම්බන්ධව සාමාන්‍ය ජනතාවට අවබෝධය ලබාදීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් රට පුරා ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා.
ආර්ථික අපහසුතාවයන්, භාෂා පිළිබඳව වු ගැටළු යුක්තියට ප්රවේශවීමට ඇති ප්‍රධාන බාධකයි. ඒවා නැති කළ යුතුයි. ඇතැම් අවස්ථාවල අපේ රටේ පොලීසියට, අධිකරණයට ජනතාවගෙන් අප්‍රසාදයට පත්වීමට නීතිය පිළිබඳව සාමාන්‍ය ජනතාවට නිසි අවබෝධය නොමැතිවීමත් හේතුවෙනවා. මහජනතාවට සේවය ලබාදීම අපේ මුලික වගකීමක් බවට රාජ්‍ය සේවකයින් අවබෝධ කරගත යුතුයි. මේ වැඩසටහනේ මුලික අරමුණ වන්නේ නීතිය සම්බන්ධයෙන් වු අවබෝධය ජනතාවට ලබාදීමයි. රාජ්‍ය සේවකයින් වන අපගේ කාර්භාරය ජනතාවට සේවය කිරීම බව අවබෝධ කර ගත යුතුයි.
ජනතාවට සේවා ලබා ගන්න අපේ රජය යටතේ තවදුරටත් ඇමතිවරුන් මන්ත්‍රිවරුන් පසුපස යන්න අවශ්‍ය වන්නේ නැහැ. මෙවැනි වැඩසටහන් අමාත්‍යාංශයට පමණක් තනිව කරන්න බැහැ. ඒ වෙනුවෙන් මහජනතාවගේ සහ රාජ්‍ය සේවකයින්ගේ සහාය අවශ්‍යයි. ජනතාවට පවතින ගැටලු විසඳීම වෙනුවෙන් රාජ්‍ය සේවකයින් දේශපාලන නියෝජිතයින් එක්ව මෙවැනි වැඩසටහන් මාස තුනකට වරක්වත් සංවිධානය කළ යුතුයි. නව අගවිනිසුරුවරයා රාජකාරී ආරම්භ කරමින් අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම කඩිනමින් සිදුකළ යුතු බව සඳහන් කළා. අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයෙන් තොරව තවදුරටත් ඉදිරියට යන්න බැහැ. එය සිදු කළ යුතුමයි. නීතිය සියලු දෙනාටම එක සමාන විය යුතුයි. සාමාන්‍ය ජනතාවට පමණක් නොව ඇතැම් රාජ්‍ය සේවකයින්ට පවා මුලික නීතිය පිළිබඳව වු දැනුම නොමැති විම විශාල ගැටළුවක් බවට පත්ව තිබෙනවා.
මහජනතාවට තමන්ට කැමැති ආහාරයක් තමන් ප්‍රිය කරන කඩයකින් ලබාගැනීමේ හැකියාව පැවතිය ද තමන්ට කැමැති උසාවියකට නඩුවක් යොමු කිරීමට හැකියාවක් නැහැ. ක්ලීන් ශ්‍රී ලංකා තුළින් පරිසරය පමණක් නොව මිනිසුන්ගේ හදවත ද පිරිසිදු කිරීම කළ යුතුයි බව අමාත්‍යවරයා සඳහන් කළේය.,