තනතුරු කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය
July 28, 2025 02:41 pm
නව තානාපතිවරුන් පස් දෙනෙකු, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.
පසුගිය 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී මෙම අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ.
එමෙන්ම බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සී. ඒ චාමින්දා ඉනෝකා කොලොන්නේ, මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන්, තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්. ආර්. එම්. එන්. පී. ජී. බී. කදුරුගමුව, නේපාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස රුවන්ති දෙල්පිටිය, දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාරිමුත්තු කේ පද්මනාදන් යන මහත්ම මහත්මීන්ගේ නම් උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර ඇත.
තවද අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවියගේ නම ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ.
ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කමිටුවේ සාමාජික, අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, අනිල් ජයන්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර, උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රිෂාඩ් බදියුදීන්, නීතිඥ දයාසිරි ජයසේකර, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.