යළි කරළියට ආ පොලිස්පති පුටුව
July 26, 2025 06:01 pm
ධුරයේ රාජකාරි සිදුකිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විමර්ශන කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළිත් වරක් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් මතුවී වී තිබේ.
ඒ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය ලබන අගෝස්තු මස 05 වැනිදා විවාද කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වීමත් සමගය.
කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා දිනයේදී රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ පිළිබඳ තීරණය වී ඇති අතර ඒ අනුව අගොස්තු 05 වැනි අඟහරුවාදා පෙරවරු 11.30 පස්වරු 04.00 දක්වා දේශබන්දු තෙන්නකෝන් මහතා 2002 අංක 05 දරණ නිල ධරයෙන් ඉවත් කිරීමේ (ක්‍රියා පටිපාටිය) පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව විවාදයට ගනු ඇත.
ඉන් අනතුරුව අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.
මෙරට ඉතිහාසයේ පොලිස්පතිවරයෙකු සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කරන ලද පළමු පාර්ලිමේන්තු කමිටුව විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකරනු ලැබීය.
විමර්ෂනයේ අවසාන ප්‍රතිඵලය කථානායකවරයා වෙත භාරදී ඇති අතර වර්තමානයේ ඉතිරිව පවතින්නේ විවාදය පවත්වා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපා හැරීමට පමණි.
වසර 159ක් පැරණි පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ දේශබන්දු තෙන්නකෝන් මහතා 36 වන පොලිස්පතිවරයා වන අතර ඔහු 2024 වසරේ පෙබරවාරි 26 වැනිදා එම ධුරයට පත්විය.
කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් පැවැති අතර යම් හෙයකින් පාර්ලිමේන්තු විවාදයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කළහොත් එලෙස සිදුකරනු ලබන පළමු පොලිස්පතිවරයා වන්නේද ඔහු වේ.
කෙසේ වෙතත් මේ වන විට දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපා හැරීමේ ඡන්ද විමසීමේ යෝජනාවට ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් ද දේශපාලන පක්ෂ අතරද මතභේදාත්මක තත්ත්වයක් උද්ගතවී ඇති බවද වාර්තා වේ.
දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනුයේ සමගි ජන බලවේගය අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කර ඇති බවය.
කෙසේ වෙතත් ඔවුන් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර එළැඹෙන සඳුදා දින පැවැත්වෙන සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදි මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදාළ යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කරනු ඇති බවටද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම යෝජනාව සම්මත වීමට නම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව සියලු මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් එනම් 113 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කළ යුතුවේ.
යෝජනාව සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපා හරිනු ඇත.
මේ අතර දේශබන්දු තෙන්නකොන් මහතා එම ධුරයෙන් නෙරපා හැරියහොත් මීලඟ පොලිස්පති ධුරය සම්බන්ධයෙන්ද මේ වන විට කතාබහක් මතුව තිබේ.
වර්තමානයේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කටයුතු කරන අතර ඔහු 2024 වසර වසරේ සැප්තැම්බර් මස 24 වැනිදා එම ධුරයට පත්විය.
රජයේ ආරංචි මාර්ග අනුව දැනට වැඩබලන පොලිස්පතිවරයා නිත්‍ය පොලිස්පතිවරයා ලෙස පත්වීමට නියමිත අතර පොලිස්පති ධුරය සඳහා වර්තමානයේ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලබන ලලිත් පතිනායක මහතාගේ නමද යෝජනා වී තිබේ.