විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
July 26, 2025 04:07 pm
මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති විෂේශ සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් සෝදිසි මෙහෙයුම් කිහිපයක් ඊයේ (25) දිනය පුරාවටද සිදුකර තිබේ.
මේ සඳහා ශ්‍රී ලංකා පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාවත් එක්ව ඇති අතර ඒ සඳහා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් ඇතුළු ආරක්ෂක නිලධාරීන් 6,500කට අධික පිරිසක් සහභාගී වී තිබේ.
එහිදි ක්‍රියාත්මක වූ සෝදිසි මෙහෙයුමේදී පුද්ගලයින් 24,281 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර වාහන 10,175ක් සහ යතුරුපැදි 7,240ක ප්‍රමාණයක් මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇත.
ඒ අනුව මෙහෙයුම් අතරතුරදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1,455ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 374 මිලිග්‍රෑම් 336ක ප්‍රමාණයක්ද හොරොයින් ග්‍රෑම් 218 මිලිග්‍රෑම් 281 ප්‍රමාණයක්ද ඇතුළුව මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.
එමෙන්ම වැටලීම්වලදී අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විවිධ වැරදි සම්බන්ධයෙන් වරෙන්තුකරුවන් 408 දෙනෙකුද පොලීසිය විසින් මෙම සෝදිසි මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර පසුගිය ජුලි මස 18 වැනි දින සිට ජූලි 24 වැනි දින දක්වා සතිය තුළදී සුළු, මධ්‍යම හා මහා පරිමාණ ජාවරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තුළදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 ග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් මෙන්ම හොරොයින් කිලෝ 01 ග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සහ ගංජා කිලෝ 82කට අධික ප්‍රමාණයක්ද පොලිසි භාරයට ගෙන තිබේ.