පාකිස්තානය ගෞරවය බේරාගනියි
July 24, 2025 11:14 pm
බංග්ලාදේශයට එරෙහි තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 74ක පහසු ජයක් හිමිකර ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද (24) සමත් විය.
කෙසේ වෙතත් තරග 2-1ක් ලෙස තරගාවලියේ ජය හිමිවූයේ බංග්ලාදේශටයි.
යම් හෙයකින් මෙම තරගයද පාකිස්තානය පරාජය වූවානම්, ඔවුන්ට වසර 18ක දෙරටේ විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට බංග්ලාදේශය හමුවේ විස්සයි20 පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමට සිදුවේ.
මීර්පූර්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට පාකිස්තානයට ආරාධනා කළේය.
එහිදී ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 178ක් රැස්කිරීමට සමත් විය.
ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ සහිබ්සාඩා ෆර්හාන් පන්දු 41කදී ලකුණු 63ක් රැස් කළේය.
ඊට අමතරව හසන් නවාස් ලකුණු 33ක්, මොහොමඩ් නවාස් ලකුණු 27ක් හා සයිම් අයුබ් ලකුණු 21ක් රැස්කිරීමට සමත් වූහ.
බංග්ලාදේශ වෙනුවෙන් පන්දු යැවීමේදී ටස්කින් අහ්මඩ් හා නසුන් අහ්මඩ් කඩුලු 3 බැගින් දවාගත්හ.
නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශයට පන්දුවාර 16.4කදී සියලු දෙනා දැවී ලබා ගතහැකි වූයේ ලකුණු 104ක් පමණි.
බංග්ලාදේශ ඉනිමේ කඩුලු 7ක් ලකුණු 41ක් තුළ දවාගැනීමට පාකිස්තානය සමත් විය.
අංක 8 පිතිකරු මොහොමඩ් සයිෆුඩීන් නොදැවී රැස්කළ ලකුණු 35 හා අවසන් පිතිකරුවන්ගේ ඉනිමේ හේතුවෙන් බංග්ලාදේශයට ලකුණු 100 සීමාව අසීරුවෙන් පසුකර යෑමට හැකිවිය.
පාකිස්තානය වෙනුවෙන් සල්මාන් මිර්සා (3/20), ෆහීම් අෂ්රෆ් (2/13) හා මොහොමඩ් නවාස් (2/4) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.