X-PRESS PEARL ගිනිගන්නා බව කපිතාන් හා දේශීය සමාගම හාබර් මාස්ටර්ට වසන් කරලා
July 24, 2025 07:32 pm
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම තුළින් මෙරට සමූද්‍රීය පරිසරයට සහ ආර්ථිකයට සිදුවූ හානිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් මෙරට රජයට ගෙවන ලෙස නෞකාව අයත් සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත්කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ මෙම සිද්ධියේදී එවක විෂයභාර රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර සහ නීතිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවය.
සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී තිබූ MV Xpress pearl නෞකාව කොළඹ වරායෙන් නාවික සැතපුම් 9.5ක පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී ගිනි ගැනීමකට ලක්වූයේ 2021 මැයි 19 වැනිදායි.
පසුදින නෞකාව තුළ පිපිරීමක් සිදුවූ අතර ඒ වනවිට නෞකාව තුළ නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් අන්තර්ගතව තිබුණි.
නෞකාව දින කිහිපයක් තුළ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වූයේ ලෝක ඉතිහාසයේ නෞකා අනතුරකින් වූ විශාලතම සමුද්‍රීය පරිසරික හානිය ඉතිහාසයට එක්කරමිනි.
එවැනි පසුබිමක මේ නෞකාවෙන් සිදුවූ හානියට වන්දි ඉල්ලා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පරිසර යුක්ති කේන්ද්‍රය හා ධීවර ප්‍රජාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ගොනුකර තිබුණි.
ඒ අනුව පංච පුද්ගල තීන්දුව ප්‍රකාශයට පත්කළ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ දින 30ක් පුරා පැවති නඩු විභාගයේ තීන්දුව පිටු 361කින් සමන්විත බවය.
පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති අගවිනිසුරු මුරුදු ප්‍රනාන්දු මහත්මිය,
"ලොව සිදුවූ දරුණුතම සමුද්‍රීය පරිසර විනාශයක් සිදුකළ මෙම නෞකා අනතුරින් බටහිර, දකුණ සහ උතුරු වෙරළ තීරයන්ට දැඩි හානි සිදුවුණා. ඒ වගේම පමුණුගම මීගමුව ඇතුළු බස්නාහිර පළාතේ ධීවර ප්‍රජාවට දැඩි ආර්ථිකමය බලපෑම් ඇතිකළා. එම නෞකාවේ කපිතාන්, නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම සහ අදාළ නෞකාවේ හිමිකාර සමාගම වගකිව යුතුයි. නෞකාව ගිනිගන්නා බවට තොරතුරු ලැබී තිබියදි XPRESS PEARL නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය සමාගම කොළඹ හාබර් මාස්ටර්වරයා වෙත තොරතුරු වසන්කර ඇතිබව නඩු විභාගයේදී අධිකරණයට පෙනි ගියා".
මෙහිදී වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අගවිනිසුරුවරිය පැවසුවේ, සිද්ධිය වන අවස්ථාවේ විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටී ආචාර්ය. නාලක ගොඩහේවා මහතා ද මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවය.
පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති අගවිනිසුරු මුරුදු ප්‍රනාන්දු මහත්මිය,
" මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටි එවක විෂයභාර රාජ්‍ය අමාත්‍ය ආචාර්ය. නාලක ගොඩහේවා වෙරල හා සමූද්‍ර කලාපය ආරක්ෂා කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම පැවරී තිබුණ ද ඔහු එම වගකීම ඉටුකිරීම පැහැරහැර තිබෙනවා. එසේම පෙත්සම්වල තවත් වගඋත්තරකරුවෙකු වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ එවක සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර ද තමාට සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතෙන් පැවරී තිබුණු ව්‍යවස්ථාපිත වගකීම් පැහැරහැර තිබෙනවා. ඇය මේ අවස්ථාවේදී යුහුසුළුව ක්‍රියාත්මක වී අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවා අවශ්‍ය තීන්දු තීරණ ගන්න තිබුණා. මෙම ඛේදවාචකයෙන් පසු නීතිපතිවරයා වන්දි අයකර ගැනීම සඳහා සිංගප්පූරුවේ සිවිල් නඩුවක් පැවරීම සහ මෙරට මහාධිකරණයේ නඩුවක ගොනුකිරීම පමණක් නොකර අපරාධ නඩු ගොනු කළ යුතුව තිබූ බව අධිකරණයේ මතයයි. ඒ අනුව ඔවුන් තිදෙනාම මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙනවා. "
අනතුරුව නඩු තීන්දුවට අදාළ නියෝග ප්‍රකාශයට පත්කළ අගවිනිසුරුවරිය Xpress pearl නෞකාව ගිනි ගැනීමෙන් මෙරට පරිසර පද්ධතියට මෙන්ම ධීවර ප්‍රජාව ඇතුළු ජනතාවට සිදුවූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 01 ක වන්දි මුදලක් මෙරට භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ගෙවන ලෙස අදාළ නෞකා සමාගමට නියෝග කළාය.
එම වන්දි මුදල කොටස් වශයෙන් ගෙවිය හැකි බව සඳහන් කළ අගවිනිසුරුවරිය පළමු ගෙවීම සැප්තැම්බර් 23 වැනිදාට පෙර සිදුකළ යුතු බවත්, වසරක් තුළ එය සම්පූර්ණ කළ යුතු බවත් අගවිනිසුරුවරිය ප්‍රකාශ කළාය.
එසේම මෙම ඛේදවාචකයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදුකර නඩු පැවරීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කළ විනිසුරු මඩුල්ල මාස තුනක් ගතවීමට පෙර අදාළ විමර්ශනය ආරම්භ කිරිමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.
විනිසුරු මඩුල්ල අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන යටතේද විමර්ශනයක් කළ යුතු බවය.
Xpress pearl ඛේදවාචකයෙන් අගතියට පත් වූවන්ට වන්දි ගෙවීම සඳහා "එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් වන්දි කොමිසම" ස්ථාපිත කරන ලෙසත් සමුද්‍ර කලාපයට වූ හානිය යළි යථා තත්ත්වයට පත්කිරීම සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ස්ථාපිත කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී නියෝග කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝග ක්‍රියාත්මකවීමේ ප්‍රගතිය විමසා බැලීමට නඩුව සැප්තැම්බර් 25 වැනිදා යළි කැඳවීමට නියමිතය.