රසාරා විජේසූරිය මීටර 5000 අවසන් තරගයට 

රසාරා විජේසූරිය මීටර 5000 අවසන් තරගයට 

July 24, 2025   03:23 pm

ජර්මනියේ පැවැත්වෙන ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේදී මීටර 5000 ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ රසාරා විජේසූරිය සමත් වූවාය.

අද (24) පැවති සුදුසුකම් ලැබීමේ තරගයේ දී ඇය විනාඩි 16:00.30කින් තරගය අවසන් කර එම ඉසව්වේ 7වන ස්ථානය දිනාගැනීමත් සමග ඇයට මෙම අවස්ථාව හිමිවිය.

මෙහිදී රසාරා ගතකළ කාලය ඇගේ පෞද්ගලික හොඳම කාලය වන අතර, මෙරට ක්‍රීඩිකාවක මලල ක්‍රීඩා ඉතිහාසයේ දැක් වූ දෙවන හොඳම කාලයද වේ.

රසාරා ඊයේ පැවති මීටර 10000 ඉසව්වට සහභාගි වූ අතර, එහිදී විනාඩි 32:52.20කින් තරගය අවසන් කර නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ද සමත් විය.

කෙසේ නමුත් ඇය අලුත්කරනු ලැබුවේ ඇය විසින්ම පිහිටුවා තිබූ වාර්තාවක් වන අතර, මෙම වසර තුළදීම දෙවතාවක් එය අලුත්කර තිබුණි.

රසාරා කැලණිය විශ්වවිද්‍යාල නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වී සිටියි.

මෙවර ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල ඉකුත් 16 වනදා ආරම්භ වූ අතර, එය එළැඹෙන 27 වනදා අවසන්වීමට නියමිතව ඇත.

මේ සඳහා රටවල් 113ක් නියෝජනය කරමින් ක්‍රීඩික ක්‍රීඩිකාවෝ 7000කට වැඩි පිරිසක් සහභාගි වී සිටියි.

ඔවුන් ක්‍රීඩා 18ක් යටතේ ඉසව් 234ක් වෙනුවෙන් තරග වැඳීමට නියමිතය.