නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පාර්ශ්ව කිහිපයකින් විරෝධය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පාර්ශ්ව කිහිපයකින් විරෝධය

July 20, 2025   10:04 pm

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ කතාබහක් නිර්මාණය වී ඇති අතර, ඊට ගුරු විදුහල්පති සංගම් ඇතුළුව පාර්ශ්ව කිහිපයක් සිය විරෝධය පළ කරයි. 

ඒ, එම ප්‍රතිසංස්කරණවලදී 10 හා 11 ශ්‍රෙණිවල අනිවාර්ය විෂයයන් අතරින් ඉතිහාසය සහ සෞන්දර්ය යන විෂයයන් ඉවත් කර, ඒවා තෝරාගන්නා ලැයිස්තුවකට එක් කර තිබීමට එරෙහිවය.

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි සහ රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පෙන්වා දෙන්නේ ඉතිහාසය සාමාන්‍ය පෙළට අනිවාර්ය විෂයක් වීම අත්‍යවශ්‍ය බවය.

රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි,

"අමෙරිකාව වගේ රටක පුරවැසිකම ලබන්න කළ යුතු විභාගයේදී අමෙරිකානු ඉතිහාසය අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳ විමසීමක් කළ අවස්ථාවේදී විද්වතෙක් ප්‍රකාශ කළා. අමෙරිකානු ඉතිහාසය ගැන දන්නේ නැති මෝඩයෙක්ට අමෙරිකාවේ පුරවැසිභාවය දෙන්න පුළුවන්කමක් නැහැ කියලා. හරි ඉතිහාසය දරුවන්ට උගන්වලා නොතිබ්බොත් ඕනෑම කපටියෙකුට පුළුවන් ඉතිහාසය විකෘති කරන්න. විෂයන් තෝරාගැනීම දරුවන්ට දුන්නොත් නොමග යෑම නිසැකයි. සත්‍ය වශයෙන්ම කළ යුත්තේ ඉතිහාසය අනිවාර්යය විෂයක් කිරීමයි." 

මේ අතර, ඉතිහාසය සහ පුරාවිද්‍යාව විෂයන් අනිවාර්යය විෂයන් ලෙස පාසල් පද්ධතියේ පවත්වාගෙන යායුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ද ඊයේ (19) පැවසූහ.

ඒ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා උන්වහන්සේ බැහැදැක අධයාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා කළ අවස්ථාවේදීය.

මේ අතර ඉතිහාස විෂය උගන්වන ආචාර්යවරුන් සහ භික්ෂූන් වහන්සේ පිරිසක් අද අස්ගිරි මහා නා හිමියන් බැහැදැක මෙම විෂය ගැටලුව පිළිබඳ දැනුම්වත් කළාය.