වනජීවියේ නොසැලකිල්ලෙන් දුම්රියට බිලිවූ සද්ධන්තයා

වනජීවියේ නොසැලකිල්ලෙන් දුම්රියට බිලිවූ සද්ධන්තයා

July 18, 2025   08:32 pm

කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය කළ දුම්රියේ ගැටී වන අලියෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙම අනතුර අද අලුයම 5.30ට පමණ ගල්ලෑල්ල සුදුවෙලුම් ගම ප්‍රදේශයේදී සිදුව ඇත. 

ප්‍රදේශවාසීන් සඳහන් කළේ මෙම වනඅලියා ප්‍රදේශයේ වී ගබඩාවලට පහරදී වී ආහාර ගන්නා බවත් අද අලුයම තුනේ සිට මෙම ගම්මානයේ වනඅලියා සැරිසරමින් සිටි බවත්ය.

කෙසේ නමුත් වනඅලියා ගමට පැමිණි මොහොතේ ප්‍රදේශවාසීන් වනජීවී දෙපාර්තමේන්තුවට දැනුම්දීමට ගම්වාසීන් පියවර ගෙන ඇති නමුත් අදාළ නිලධාරීන් සිය දුරකථන විසන්දි කර තිබූ බවටද ගම්මාසීන් චෝදනා කරයි.

ගම්වාසීන් චෝදනා කරනුයේ වනඅලියා නිරන්තර ගම්වදින බවත් ඒ සම්බන්ධව වනජීවි දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නම් මෙයැනි විපතක් සිදු නොවනු ඇති බවය.

මියගොස් ඇති වන අලියා අවුරුදු 15ක් පමණ වන අඩි 8ක් පමණ උසින් යුතු සත්වයෙකි.

දුම්රියේ ගැටී පිටුපස පාදවලට සිදුවූ දැඩි හානි මැද වනඅලියා රේල්පාර අසල වේදනාවෙන් ගැවසී ඇති අතර පසුව එම සත්වයා අසල පිහිටි නිවසක තාප්පයක්ද කඩාගෙන බිම ඇද වැටී සිය අවසන් හුස්ම හෙලීම ප්‍රදේශවාසීන් දැඩි සංවේදී අවස්ථාවක්ද වී තිබේ.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ප්‍රදේශවාසීන්

"කෝච්චියේ හෝන් එකේ සද්දෙට එයා හරි බයයි කොච්චිය කොතනද කියලා එයා දන්නේ නෑ. ඇඟෙන් හතරෙන් තුනක් විතර එළියට දාලා තිබ්බේ කකුල ගන්න අතරේ කකුල කොච්චියේ වැදුණා. වැදුණු පාර එයාගේ කකුල කඩලා ගියා."

"කෝච්චියට වැදිලා ඇවිත් මේ බිත්තියේ තමා හේත්තු වුණේ විනාඩි විස්සක් විතර හිටියා බිත්තියට හේත්තු වෙලා. කිසිම දවසක මේ අලියා වින්ද දුක දකින්නවත් හොඳ නෑ..."

"3.30 අපි වනජීවි එකට කතා කළා ඒත් කවුරුත් ආවේ නෑ තුනහමාරට කළින් වනජීවි එක ක්‍රියාත්මක වුණානම් අලියා බේරෙන්න තිබුණා."

කෙස් නමුත් මේ සම්බන්ධව අදහස් දක්වමින් වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසුවේ මෙවන් අදහසක්.

"එහෙම තත්ත්වයක් මට නම් වාර්තා වුණේ නෑ. නමුත් ඒ ගොල්ලෝ වෙනත් ක්ෂේත්‍ර රාජකාරියක යෙදී සිටියානම් ඒ වගේ පණිවිඩ ලබා දීමේදී ගැටලු මතුවෙනවා. මේ සම්බන්ධව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂවරයාත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහිතව කමිටුවක් මගින් විමර්ශනය කෙරීගෙන යනවා. මේ තත්ත්වය වළක්වා ගත හැකිව තිබුණාද නැත්ද මොනවාගේ තත්ත්වයක් තිබුණාද කියලා." 

මේ අතර ඉදිරි පාදයට වෙඩි වැදී මාස ගණනක සිට කණ්ඩලම වැව අසල වැතිරී සිටින "කණ්ඩලමේ හැඩකාරයා" ලෙස හඳුන්වන හස්තියාට ආහාර ලබාදෙන්නේ නම් එය තම ආයතනයේ අධීක්ෂණය යටතේ සිදුකරන්නැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා තිබේ. 

වෙඩි ප්‍රහාර හේතුවෙන් සිදුවූ තුවාල සියල්ල මේ වනවිට සුව වී ඇති අතර, අස්ථිවලට හානියක් නොමැති නිසා සැත්කමක්  මගින් එම උණ්ඩ ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, බුත්තල, මහගොඩයාය ප්‍රදේශයේ පැපොල් වගාවක තිබී වයස අවුරුදු 20ත් 25ත් අතර මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවී තිබේ.

කෙසේ වෙතත් මෙම මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

එමෙන්ම වෙඩි වැදිමෙන් මියගිය තවත් සද්ධන්තයෙකුගේ සිරුරක් අද (18) අලුයම ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයෙන් හමුව තිබේ. 

මියගිය අලියාගේ සිරුරේ ස්ථාන කිහිපයක වෙඩි ප්‍රහාර එල්ල වූ සලකුණු දක්නට ඇති අතර, වනජීවි නිලධාරීන් පැවසුවේ අඩි 9ක් පමණ උසැති වයස අවුරුදු 25ත් 30ත් අතර අලියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවය.