දෙහිවල වෙඩික්කරු පලාගිය යතුරුපැදිය සොයා ගනී

දෙහිවල වෙඩික්කරු පලාගිය යතුරුපැදිය සොයා ගනී

July 18, 2025   08:26 pm

දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දල විකල්ප මාර්ගයේ විහාරස්ථානයක් ඉදිරිපිට මාර්ගයේ දමා ගොස් තිබියදී හමු වී තිබේ.

දෙහිවල පොලීසිය පැවසුවේ, රතු පාටට හුරු ආරක්ෂක හිස් වැස්මක් ද සහිතව යතුරුපැදිය එලෙස දමා ගොස් තිබූ බවය.

දහවල්  1.30ට පමණ යතුරුපැදියක් මෙම ස්ථානයේ තිබෙන අයුරු පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරියකු දැක ඒ බව උසස් පොලිස් නිලධාරී කොට දැනුම් දී තිබූ බව පොලීසිය සඳහන් කළේය.

එම යතුරු පැදියට සවිකර තිබූ අංක තහඩුව මෝටර් රථයක ලියාපදිංචි අංක තහඩුවක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කොළඹ ඇඟිලි සටහන් දෙපාර්තමේන්තුවේ නිලධාරීත් පැමිණ මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ බව අප වාර්තාකරු පැවසීය.

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලැබීය.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තැනැත්තාගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

වෙඩික්කරු කිසිදු කලබලයක් නොමැතිව පාගමනින් පැමිණ මෝටර් රථයක රියදුරු අසුනේ සිටින අයෙකුට වෙඩි තබන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

ප්‍රහාරයෙන් පසු වෙඩික්කරු දිවගොස් යතුරුපැදියක නැග තවත් අයෙකු සමග පලාගොස් තිබුණි.

වෙඩික්කරු වෙඩි ප්‍රහාර 4ක් මෝටර් රථයේ සිටි පුද්ගලයාට එල්ල කර ඇති අතර ඉන් 2ක්, ඔහුගේ උරහිසට හා ඇලපතට වැදී ඇති බව වාර්තා වේ.

අනෙක් වෙඩි ප්‍රහාර මෝටර් රථයට වැදී තිබේ.

වෙඩික්කරු පලායෑමත් සමග එම ස්ථානයට පැමිණි අයෙක් තුවාල ලැබූ පුද්ගලයා එම මෝටර් රථයේම දමාගෙන කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි සුදත් කුමාර නම් 46 හැවිරිදි අයෙකි.

ඔහු දිනපතා මුදල් පොලීයට ලබාදෙන අයෙක් වන අතර අදත් ඒ සඳහා දෙහිවල දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

පොලීසිය පැවසුවේ, ඔහුට විරුද්ධව කිසිඳු චෝදනාවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවය.

එමෙන්ම කිසිදු පුද්ගලයෙකුගෙන් ඔහුට තර්ජනයක් තිබී නොමැති බවත් පොලීසිය පැවසුවේය.

අදාළ පුද්ගලයා වෙලේ සුදා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඥාතියෙක් සමග විවාහ වී කලකට පෙර ඇයගෙන් දික්කසාද වී තිබේ.

එමෙන්ම ඔහු බඩෝවිට අසංකගේ සමීප ඥාතියෙක් වන අතර ඔහුට රිදවීම සඳහා කොස් මල්ලිගේ පාර්ශ්වය මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි සැක කරන බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දෙහිවල පොලිසියේ ස්ථානාධිපති අනුරාධ හේරත් මහතාගේ ප්‍රධාන්තවයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් සිදුකරනු ලබයි.