ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්

ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ක්‍රිකට්වලින්

July 18, 2025   07:50 am

2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් බව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පවසයි.

ඒ අනුව එම වර්ෂයේ ක්‍රිකට් තරග පාවාදීම්, තහනම් උත්තේජක භාවිත කිරීම ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 9ක් බව එම ඒකකය සඳහන් කළේය.

2024 වර්ෂයේ ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 27ක් වන අතර ඊට ක්‍රිකට්, එල්ලේ, හොකී, ජූඩෝ, මේසපන්දු, කබඩි සහ බැට්මින්ටන් ඇතුළු තවත් ක්‍රීඩා කිහිපයක්ම අයත් ය.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි 2024 වර්ෂයේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් සහ ලේජන්ඩ් කුසලාන තරගාවලියේදී සිදුවු සිදුවීම් සම්බන්ධයෙන් ලැබුණු ඒවා බවද සඳහන් ය.

මේ අතර, මේ වසරේ ගතවු මාස 6 තුළ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3ක් බව පොලීසිය සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගිය 2024 වර්ෂයේ පළමු මාස 6ට පමණක් ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 06කි.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 21 වගන්තිය යටතේ එම පනත යටතේ සිදුකෙරෙන වරදවල් සම්බන්ධව විමර්ශන සිදුකිරීම සඳහා ස්ථාපිත කෙරුණි.

එමගින් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ සඳහන් වරදවල් වළක්වා ගැනීම, ක්‍රීඩා තරග ආවේක්ෂණ රාජකාරි සිදුකිරීම, ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුම්වත් කිරීම සඳහා දේශන පැවැත්වීම, ක්‍රිඩාවට සම්බන්ධ ජාත්‍යන්තර ආයතන සමග සම්බන්ධතා පවත්වාගනිමින් දැනුම හා තොරතුරු ලබාගැනීම හා හුවමාරු කරගැනීම සිදුකරනු ලබයි.

මීට අමතරව, ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයින් සමග සම්බන්ධවී බුද්ධි තොරතුරු ලබාගැනීම සහ ක්‍රීඩාවල තරග පාවාදීම, දූෂණය, නීති විරෝධී මෙහෙයවීම හා නීති විරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධව ස්වාධීන හා අපක්ෂපාතීව විමර්ශනය කිරීම මෙම ඒකකය විසින් සිදුකරයි.

මේ අතර, ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වර්තමානයේ ක්‍රියාත්මක වනුයේ අධ්‍යක්ෂකවරයෙකු නොමැතිව බව සඳහන්.

ඒ අනුව ඇතැම් ක්‍රීඩා වැරදිවලට අදාළ නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනීමටද නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව පැවසෙයි.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ස්වාධීනව ක්‍රියාත්මක වන ඒකකයක් බැවින් ඊට වැඩබලන අධ්‍යක්ෂකවරයෙක් හෝ පත්කිරීමටද හැකියාවක් පනත මගින් ලබාදී නොමැත.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයෙකු හෝ ඊට උසස් නිලධාරියෙකු එම  තනතුර සඳහා පත්කළ යුතුය.