කහවත්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු ජූලි 28 දක්වා රිමාන්ඩ්

කහවත්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු ජූලි 28 දක්වා රිමාන්ඩ්

July 17, 2025   02:44 pm

කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු මෙම මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

ඒ ඔවුන් දෙදෙනා අද (17) පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත්වරිය ඊයේ (16) නියෝග කළාය.

මේ අතර අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනවිය ඊයේ පොලීසියට අවසර ලබා දුන්නාය.

අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් 4 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබූ අතර තරුණයින් පැහැර ගැනීම සඳහා යොදා ගත් ජීප් රථයද සොයාගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පැවසුවේය.

ඉකුත් 30 වැනිදා රාත්‍රීයේ කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්‍රදේශයේ නිවසක සහෝදරයන් දෙදෙනෙකු තවත් තරුණයෙක් සමග කතාබහ කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී තිබුණි.

එහිදී සහෝදරයන් දෙදෙනා අතරින් අයෙක් එම ස්ථානයෙන් පලාගොස් තිබූ අතර අනෙක් දෙදෙනාව අත් මාංචු දමා පොලීසිය යැයි පවසා පැහැරගත් සැකකරුවන් ඉන් එක් තරුණයෙකු දණගස්වා වෙඩිතබා ඝාතනය කළ අතර අනෙක් තරුණයා වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සහිතව රොහල්ගත කෙරුණි. 

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින තනූජ සම්පත් නොහොත් 'හෝමාගම හඳයා' නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයින් බව පොලීසිය සඳහන් කළේය.

එකී අපරාධය සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ඔත්තු ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් හේතුවෙන් බවද පොලීසිය පැවසුවේය.

මෙලෙස ඝාතනය කර තිබුණේ කහවත්ත පලන්සූරියගම පදිංචිව සිටි දේශාන් ඉරන්ත නමැති 22 හැවිරිදි තරුණයෙකි.

අදාළ සැකකරුවන් සමග එදින එම තරුණයන් පැහැර ගැනීමට යොදාගත් ජීප් රථය, මෝටර් රථයක්, යතුරුපැදි 3ක්, ලියාපදිංචි අංක තහඩු 2ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 197ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 96ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

තරුණයන් පැහැර ගැනීමට යොදාගත් ජීප් රථය මීගොඩ පොලිස් වසමේ සඟවා තිබියදී සොයා ගැනුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට හෝමාගම, හා පාදුක්ක ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27ත් 29ත් අතර වයස්වල පසුවන කිසිඳු රැකියාවක් නොකරන පුද්ගලයින් බවද පොලීසිය පැවසුවේය.

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.