SLIIT ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුවෙන් නිර්දේශ‍යක්

SLIIT ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුවෙන් නිර්දේශ‍යක්

July 14, 2025   03:35 pm

මහපොළ අරමුදලට අයත් වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පුර්ණ පෞද්ගලික ආයතනයක් බවට පත් කිරීම අනීතිකව සිදුවී ඇති බව පැහැදිළි වන බවත් නැවත එය මහ පොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට නෛතික පියවර ගන්නා ලෙසත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විසින් පසුගියදා නිර්දේශ කෙරිණි.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස කෝප් සභාපති (වෛද්‍ය) නිශාන්තසමරවීර මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලෙන්තිර රාජා සහ මහපොළ භාරකාර අරමුදලේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ට නිර්දේශ කළේය.

2022 සහ 2023 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය විමර්ශනය සඳහා ලලිත් ඇතුළත් මුදලි මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට පසුගිය 09 වැනිදා කැඳ වූ අවස්ථාවේදී මෙම නිර්දේශ ලබා දී ඇත.

2015 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව ඇති කරගත් ගිවිසුමකට අනුව එවකට සිටි අමාත්‍යවරයාගේ අනුදැනුම මත එම වත්කම පවරාගත් ආකාරය නීති විරෝධි බව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

මේ සඳහා රු. මිලියන 408ක මුදලක් SLIIT ආයතනය විසින් මහපොළ අරමුදලට ගෙවා ඇති බවත් අරමුදලටම අයත් ආයතනයක් විසින් අරමුදලට මෙම මුදල ගෙවා අයිතිය ලබා ගැනීම ගැටලු සහගත බවත් සාමාජික මන්ත්‍රීවරයෝ පෙන්වා දුන්හ.

මේ අනුව මෙහිදී වරදකරුවන්ට නිසි දඬුවම් ලබාදීම මගින් ඉදිරියට හෝ මෙවැනි අනීතික සහ වංචනික ක්‍රියාවන් නැවැත්විය යුතු බවත් කෝප් සභාපතිවරයා අවධාරණය කළේය.

COPE 09.07.25 Sinhala by poornima on Scribd