හිටපු ඇමති රාජිතගෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක්

හිටපු ඇමති රාජිතගෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක්

July 14, 2025   11:22 am

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරාත්ම මහතා විසින් ගොනුකර ඇති අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 18 වනදා කරුණු දක්වන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කර තිබේ.

රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නොතීසි නිකුත් කළාය.

අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සිය සේවා දායකයා ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීම සඳහා යොදාගත් "වැලිගොව්වා" නමැති යන්ත්‍රය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බව කියා සිටියේය.

සිය සේවා දායකයා ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ කිරින්ද ධීවර වරායේ වැලි පිරී පැවතීම නිසා ධීවරයින්ට සිය රැකියාව කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවත් ඒ අනුව අදාළ වැලි ඉවත් කිරීමේ කටයුතු විදේශීය සමාගමක් සමග එක්ව සිදුකිරීමට තීරණය කෙරුණු බවත් ඔහු කියා සඳහන් කළේය.

ඊට අදාළව 2008 සහ 2012 වසර වල අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ද රාජිත සේනාරත්න මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන බවත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ එය ඔහුගේ තනි කැමැත්තට අනුව නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

ඒ අනුව අදාළ "වැලි ගොව්වා" නමැති යන්ත්‍රය අබලන්වී පැවති අතර එය විදේශීය සමාගමක් හරහා අලුත්වැඩියා කර යළි සේවයේ යෙදවීමේ වැඩපිළිවෙලක් සැකසුණු බවත් ඒ අනුව අවුරුදු හයක කාලයක් සඳහා අදාල යන්ත්‍රය කුලියට ලබාදීමට තීරණය කරන බවත් ඒ සඳහා අදාළ සමාගමින් රුපියල් ලක්ෂ විස්සක තැන්පතුවක් ලබාගත් බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය. 

නමුත් අදාල ව්‍යාපෘතියේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් නිසා එය වහාම අත් හිටූවා විමර්ශනයක් සිදු කරන ලෙස එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් නියෝග කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව අදාළ සමාගම විසින් ගෙවීම පැහැර හරින ලද මුදල් අයකර ගැනීම සඳහා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් පැවරුණු බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම කරුණට අදාළව එසේ සිවිල් නඩුකරයක් අධිකරණයේ තිබියදී අල්ලස් කොමිසම විසින් අපරාධ විමර්ශනයක් ආරම්භ කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව එහිදී ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම සිවිල් ගනුදෙනුවක් බවත් ඊට අදාළව අපරාධ නීතිය යටතේ තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ ඔහු අපහසුතාවයට ලක් කිරීමේ අරමුණින් බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 18 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළාය.