දැඩි ඇප කොන්දේසි මත දුමින්දට ඇප
July 14, 2025 10:16 am
රන් ආලේපිත ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.
දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
ඒ අනුව සැකකරු රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
එම ඇපකරුවන් දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් විය යුතු බව නියෝග කළ විනිසුරුවරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවටත් නියෝග කළේය.
එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීය යුතු බවටත් නියෝගයක් නිකුත් කරනු ලැබීය.
සැකකරුට එරෙහිව නඩු පැවරීමට නම් ඔහු සන්තකයේ ගිනිඅවියක් තිබි අත්අඩංගුවට පත්ව තිබිය යුතු බව පෙන්වා දුන් නීතිඥවරයා එහෙත් මෙම සිද්ධියේදී සැකකරු සන්තකයේ ගිනිඅවියක් නොතිබූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට කරුණු දක්වා සිටියේය.
ඒ අනුව මෙම අවස්ථාවේදී ඉදිරිපත් වී තිබෙන සාක්ෂි මත සැකකරුට එරෙහිව නඩු නිමිත්තක් පවත්වාගෙන යාමට නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.