FIFA ක්‍රීඩා සමාජ ලෝක කුසලානය චෙල්සි දිනයි
July 14, 2025 07:38 am
මෙවර පාපන්දු ක්‍රීඩා සමාජ ලෝක කුසලාන (FIFA Club World Cup) තරගාවලියේ ශුරතාව දිනාගැනීමට එංගලන්තයේ චෙල්සි කණ්ඩායම සමත් විය.
අවසන් මහා තරගයේදී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් (PSG) කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පහසුවෙන් පරාජය කර ඔවුන් ශුරතාව දිනාගත්තේය.
චෙල්සි කණ්ඩායමක් ක්‍රීඩා සමාජ ලෝක කුසලානයක් දිනාගත් පළමු අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය.
අවසන් මහා තරගය නිව්යෝර්ක් හි MetLife Stadium ක්‍රීඩාංගණයේ පැවති අතර, තරගය මෙරට වේලාවෙන් අද (14) අලුයම අවසන් විය.
මෙම ජයත් සමග ජයග්‍රාහී චෙල්සි කණ්ඩායමට ශුරයන් සදහා පිරිනැමූ අමෙරිකානු ඩොලර් මිලියන 40ක මුදල් ත්‍යාගයට හිමිකම් කීමට අවස්ථාව උදාවිය.
එමෙන්ම ඔවුන් මූලික වටයේ සිට අවසන් මහා තරගය දක්වා එක් එක් අදියර ජයගැනීමේ දී ද අ.ඩො.මි. 89.5ක ත්‍යාග මුදලකට හිමිකම් කියා සිටියේය.
ඒ අනුව ඔවුන්ට අ.ඩො.මි. 129.5ක අතිදැවැන්ත මුදල් ත්‍යාගයකට හිමිකම්කීමට හැකිවිය.
ඔවුන් දිනූ මුදලේ මෙරට වටිනාකම රුපියල් බිලියන 38කට අධිකය.
PSG කණ්ඩායම මෙම තරගය ක්‍රීඩාකරන විට අ.ඩො.මි. 107.7කට හිමිකම් කියා සිටියේය.
ඔවුන්ට ශූරතාව දිනාගැනීමට හැකිවූවානම් ත්‍යාග මුදල අ.ඩො.මි. 147.7ක් දක්වා ඉහළ යාමට නියමිතව තිබුණි.
එම මුදලේ මෙරට වටිනාකම රුපියල් බිලියන 44කට අධිකය.
ඉකුත් ජුනි 14වනදා ආරම්භ වූ මෙම තරගාවලියට ලොව පුරා පාපන්දු කලාප 6ක් නියෝජනය කරමින් කණ්ඩායම් 32ක් සහභාගි විය.
අවසන් මහා තරගය නැරැඹීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එක්විය.